වෙළෙඳ ගිවිසුම් ජනතා වරම අනුවයි - අගමැති

වසර පහක කාලයක් ඇතුළත රැකියා දස ලක්ෂයක් බිහි කිරීමේ කාර්යය දේශීය වෙළෙඳපොළ මගින් පමණක් කරන්නට හැකියාවක් නොමැති හෙයින් ඒ සඳහා විදේශීය සහයෝගය ලබා ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා එම ප්‍රකාශය කලේ අද (18) සිරිකොත පැවති හමුවක දී අදහස් දක්වමිනි.

රැකියා බිහි කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය 1977 වසරේ දීත් විදේශ රටවල සහයෝගය ලබා ගත් බව සඳහන් කළ අගමැතිවරයා එදා යුරෝපීය වෙළෙඳපොළේ සහයෝගය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ අතර මෙවර ආසියානු වෙළෙඳපොළ සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවයි සඳහන් කළේ.

‘විශේෂයෙන්ම ඉන්දියාව සහ චීනය ඒ අතර ප්‍රධාන වනවා. සිංගප්පූරුව, චීනය, ජපානය, ඉන්දියාව මෙන්ම යුරෝපය සමග වෙළෙඳ ගිවිසුම් ඇති කර ගත් පසුව ආයෝජකයන් අප රටට පැමිණෙනවා. එම කටයුතු සඳහා පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ජනතාවගෙන් වරමක් ලබා ගත්තා. විදේශ රටවල් සමග වෙළෙඳ ගිවිසුම් ඇති කර රැකියා උත්පාදනය කරන බව අප මැතිවරණයේ දී පැහැදිලිව කියා සිටියා’ අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියි.

වෛද්‍ය සංගමය

සිය කතාවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය පිළිබඳවත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යභාරය වෙළෙඳ ගිවිසුම් පිළිබඳව සෙවීම නොවන බවයි.

රටේ තරුණ තරුණියන්ට රැකියා ලබා දිය යුතු අතර ඊට විරුද්ධ වීමට රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයට ඇති අයිතිය කුමක්දැයි අගමැතිවරයා ප්‍රශ්න කළේය.

‘වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මට විරුද්ධව චෝදනාවක් කර තිබෙනවා. ඔවුන්ගේ කටයුතු පිළිබඳව සෙවීමට රහස් පොලිසිය යෙදවූවාය යන්න එම චෝදනාවයි. මාධ්‍ය කීපයකුත් මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබුණා. මොවුන් නගන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරුද්ධව පොලිසියට විශේෂ පැමිණිල්ලක් කර තිබෙනවා. පොලිසිය එම පැමිණිල්ල විභාග කර තිබෙනවා. අපි පොලිසියට බලපෑම් කරන්නේ නැහැ. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ අයුරින් ක්‍රියා කරනවා නම් ඊට දේශපාලන වශයෙන් පිළිතුරු දී එම සංවිධානය දේශපාලන සංවිධානයක් ලෙස පිළිගැනීමට අප සූදානම්’ අගමැති වික්‍රමසිංහ අවධාරණය කරයි.

‘දේශපාලනය කරනවා නම් දේශපාලන සංගමයක් විදියට සලකන්න. දැන් ඔය සෙල්ලම නවත්තන්න. දැන් මේ අය වර්ජනයක යෙදෙනවලු… අපේ රටේ රෝගීන් අමාරුවේ දමා නැවත පාරට බහින්න ආවොත් අපත් පාරට බහින්න ලෑස්තියි. එවිට හොඳ පිළිතුරක් ලැබේවි. ඔය සෙල්ලම කරන්න ලෑස්ති වෙන්න එපා’ අගමැතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කියා සිටියි.

මාධ්‍ය වාර්තා

නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරමින් තරුණයන් සඳහා රැකියා ලක්‍ෂ දහයක් බිහි කිරීම සඳහා ජනතාව රජයට වරමක් ලබා දී ඇතැයි සඳහන් කළ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතැම් මාධ්‍ය ආයතන එම බහුතර ජන මතයට විරුද්ධව කටයුතු කරන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්න කරයි.

‘ඔවුන් විසින් නැති කර දමනු ලබන්නේ ජනතාවගේ විකාශන අයිතියයි. ඊට අප ඉඩ දෙන්නේ නැහැ’ අගමැතිවරයා කියා සිටියි.

‘ඩේලි මිරර්’ පුවත්පත හෝ ‘දෙරණ’ නාලිකාව හෝ මේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන වැඩපිළිවෙළට බාධා කරනවා නම් තමන් ඊට ඉඩ නොදෙන බවයි අගමැතිවරයා පවසන්නේ.

‘එවැනි ක්‍රියාවන්ට විරුද්ධව අප පාරට බහිනවා. විරුද්ධව සටන් කිරීම අපට ප්‍රශ්නයක් නොවෙයි. විරුද්ධවාදීන් ගෙනෙන සෙනග වගේ දස ගුණයක් අප ගෙනත් පෙන්වනවා. ඔය සෙල්ලම නවත්වන්නැයි මා සියලු දෙනාට පවසනවා’ අගමැති රනිල් වික්‍රමසිංහ සිරිකොත හමුවේ දී වැඩිදුරටත් අවධාරණය කළේය.