ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගිලන් රථ සේවාව ඉන්දියාවෙන් ලැබුණු ප්‍රදානයක් - හර්ෂ

විධායකයේ බලය යොදා ලංකාවේ ආර්ථිකය ක්‍රමානුකූලව විදේශීයකරණය කිරීම වහාම නැවතිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අලුත් ගිවිසුමකට පෙර .ඉන්දියාව සමඟ දැනටමත් ඇති කර ගෙන තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුමේ බරපතළ අඩපාඩු වලට විසඳුම් ලබා ගත යුතු බවයි ඔවුන් කියා සිටින්නේ .

යෝජිත ගිවිසුම යටතේ ඉන්දියාවේ ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකාවට ඒමට ඉඩ සැලසෙන බවටත් බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

අනවශ්‍ය බියක්

ඒකාබද්ධ විපක්ෂය නගන මේ චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය ජනතාව තුළ අනවශ්‍ය බියක් ඇති කරන බවයි.

මීට කලින් ඉන්දියාව සමඟ ඇති කර ගැනීමට යෝජනා වී තිබුණු විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුම (සීපා ගිවිසුම) ජනතා විරෝධය හේතුවෙන් අතහැර දැමීමට සිදුවූ බවත් අලුත් ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමේ වගන්ති මොනවාදැයි ආණ්ඩුව මහජනතාවට හෙලි කර නැති බවත් ඒකාබද්ධ විපක්ෂය කියා සිටී.

“මෙකී ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා රාමුව” තුළ කලින් සීපා කෙටුම්පතේ තිබුණු ආකාරයටම භාණ්ඩ වෙළදාම, සේවා වෙළදාම හා ආයෝජනය පිළිබඳ වෙන වෙනම ගිවිසුම් ඇති කර ගනු ඇත. මෙවර වෙනසකට ඇත්තේ මේ එක් එක් විෂය යටතේ කිසිදු නිශ්චිත විධි විධානයක් මේ සහයෝගිතා රාමුව පිළිබඳ ගිවිසුමේ නොතිබීමයි. ඒ එක් එක් මාතෘකාවට අදාළ වන පරිදි නිශ්චිත විධි විධාන සාකච්ඡා කොට පනවනු ලබන්නේ මේ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා රාමුව පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව පමණි”

ඉන්දියාව සමඟ මේ සහයෝගිතා රාමුව පිළිබඳ ගිවිසුම තවමත් සාකච්ඡා වෙමින් පවතින අතරතුර ආණ්ඩුව දැනටමත් ඉන්දීය සේවා සමාගම්වලට රට විවෘත කර හමාර බවත් ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.

Image copyright Dinesh Gunawardena

2015 සැප්තැම්බර් 02 වන දා ඉන්දියාවේ GVK EMRI නැමති ආයතනයට ලංකාව තුළ ඉන්දියානු රජයේ අනුග්‍රහය සහිතව ගිලන් රථ සේවාවක් ආරම්භ කිරිමට පහසුකම් සලසමින් අගමැතිවරයා විසින්ම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද බවත් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරයි.

මෙම කැබිනට් පත්‍රිකාවට අනුව මුලින්ම බස්නාහිර හා දකුණු පළාත්වල කටයුතු ආරම්භ කිරීමට මෙකී GVK EMRI ආයතනයට ඉන්දියානු රජයෙන් ඇ.ඩො මිලියන 7.6 ක් ප්‍රදානය කර ඇති අතර ඉන් පළමු වසරේදී ගිලන් රථ මිලදී ගැනීමටත් සේවක වැටුප් ගෙවීම වැනි කාරණාවලට මේ මුදල යොදවනු ඇත. කැබිනට් පත්‍රිකාවට අනුව මෙකී සේවය සඳහා මුදලක් අයකර ගනු ලබන අතර මුල් වසරෙන් පසු එම සේවාව එයට ලැබෙන ආදායමෙන් කර ගෙන යායුතු බව ගම්‍ය වන බවත් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරයි.

රුපියල් කෝටි සියයක ප්‍රදානයක්

විදේශ නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා පැවසුවේ එම ගිලන් රථ සේවාව ක්‍රියාත්මක කොට ඇත්තේ ඉන්දියාව මගින් ලබා දුන් රුපියල් කෝටි සීයක ප්‍රදානයක් යොදා ගෙන බවයි.

2015 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ලබා දුන් එම ප්‍රදානය යටතේ ආරම්භ කරන ගිලන් රථ සේවාවේ පළමු අදියර යටතේ බස්නාහිර හා දකුණු පළාත්වල ගිලන් රථ 88 ක් ධාවනයේ යෙදවෙන බවත් එමගින් විශාල ජනතා සේවයක් ඉටුවෙන බවත් විදේශ නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය,

මේ ගිලන් රථවල අයිතිය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය සතු බව පැවසූ නියෝජය අමාත්‍ය හර්ෂ ද සිල්වා එහි තාක්ෂණික සේවා සදහා ඉන්දීය ජාතිකයන් හතර දෙනෙකු පමණක් වසරක කාලයක් සේවයේ යෙදෙනු ඇති බවයි පැවසුවේ.

එමගින් ජනිත වන රැකියා අවස්ථා 600 ම හිමිවන්නේ ශ්‍රී ලාංකිකයන්ට බවයි ඔහු පැවසුවේ