දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය 'ක්‍රියාත්මක කළ යුතුයි'

Image copyright dilanperera.com
Image caption ''ඉඩම් ප්‍රශ්නය, පොලිසිවල ප්‍රශ්නය, ඒ ප්‍රශ්න විසඳා ගැනීමේ බලය දෙන්න ඕනි ඒ පළාතේ ජනතාවට''

'දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක්' වශයෙන් දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ යාපනය නගරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ හමුවක් අමතමින්.

'තමුන්නාන්සේලා කතා කරන භාෂාව දෙමළ භාෂාව නිසා තමුන්නාන්සේලාට ප්‍රශ්නයක් තිබෙනවා. අන්න ඒ ප්‍රශ්නය දඩමීමා කර ගෙන නැවත වරක් මේ රට ලේ විලක් කරන්න දෙන්නහොද නැහැ' අමාත්‍යවරයා සඳහන් කළේය.

දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම් ලබා දීමේ ආරම්භයක් ලෙස අවම වශයෙන් දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් බලය බෙදා දිය යුතු බවයි ඔහු පවසන්නේ.

''උතුරු පළාතේ ඉඩම් ප්‍රශ්නය, පොලිසිවල ප්‍රශ්නය, ඒ ප්‍රශ්න විසඳා ගැනීමේ බලය දෙන්න ඕනි ඒ පළාතේ ජනතාවට''

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මඟ පෙන්වීම යටතේ දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ජාතික ප්‍රශ්නයට 2016 වසර ඇතුළත ව්‍යවස්ථාවෙන්ම විසඳුමක් ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර