කච්චතීවු පවරා දීම 'ඉන්දීය ධීවරයන්ට පාඩුයි'

Image copyright bbc

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණ මසුන් මරන්නේ බලහත්කාරකමක් සඳහා නොව එම ධීවරයින්ට මසුන් මැරීමට ඇති මුහුදු සීමාව ඉතා සීමා සහිත වීම නිසා බව ඉන්දියාවේ රාමේශ්වරන් ධීවර සමිතියේ සභාපති එස් යේසුරාසා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කච්චතීවු මංගල්ලයට සහභාගි වීමට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

කච්චතීවු දූපත ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පවරා දීම නිසා සිදුවූයේද ඉන්දීය ධීවරයින්ට ඇති මුහුදු සීමාව පටුවීම බව ඔහුගේ තර්කයයි.

අතීතයේ දී ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ තලෙයිමන්නාරම, පේසාලේ, යාපනය වැනි පළාත්වලට පැමිණ මසුන් මැරුවද කිසිවෙකුත් ඔවුන් අත් අඩංගුවට නොගත් බව ඔහු සඳහන් කළේය.

වත්මන් ධීවරයින්ද පෙර පුරුද්දට පැමිණ මසුන් මරද්දී අත්අඩංගුවට ගැනීම ඉන්දීය ධීවර නායකයින් දකින්නේ දැඩි අසාධාරණයක් ලෙසටයි.

ඉන්දීය ධීවරයින් හා ශ්‍රී ලාංකික ධීවරයින් රටවල් දෙකෙහිම බලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීම දැඩි අසාධාරණයක් බවයි රාමේශ්වරන් ධීවර සමිතියේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

ඔහු තවදුරටත් කියා සිටියේ දෙරටේ නායකයින් මේ ගැන සාකච්ඡා පවත්වමින් කල් මරනවාට වඩා දෙරටේ ධීවරයින්ට ඉතා සුහදව මේ ප්‍රශ්න විසඳා ගැනීමට අවස්ථාව සලසා දීම ඉතා වැදගත් බවයි.

පකිස්ථාන මුහුදු සීමාවට ගොස් මසුන් මරණ ඉන්දීය ධීවරයින්ව එරට බලධාරීන් අත් අඩංගුවට නොගන්නා බව බීබීසියට පැවසුවේ එස් සෙමරිට් නැමති රාමේශ්වරන් දකුණු පළාතේ අනෙක් ධීවර නායකයායි.

ඒ හේතුවෙන් ඉන්දියාවද පකිස්තාන ධීවරයන් අත් අඩංගුවට ගැනීම සිදු නොකරන කරන බවයි ඔහු පැවසුවේ.

නමුත් ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ නායකයින් කටයුතු කරන වෙනස් ආකාරය නිසා රටවල් දෙකෙහිම ධීවරයින් මෙන්ම රාජ්‍ය නායකයින්ද අනවශ්‍ය ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවයි ඔහු පැවසුවේ.