කුලියාපිටිය දරුවා 'පාසලට ඇතුලත් කරන්න'

Image caption දරුවාගේ මියගිය පියා සහ මව එච්යිවී ආසාදිතයන් බවට ව්‍යාජ ප්‍රචාරයක් පැතිර යාම ගම්වාසීන්ගේ විරෝධයට හේතුවයි

දෙමාපියන් එච්අයිවී ආසාදිතයන් බවට චෝදනා කරමින් කුලියාපිටිය ප්‍රදේශයේ දරුවකු පාසලකට ඇතුලත් කර නොගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කළ බව ජාතික මානව හිමිකම් කොමිසම පවසයි.

එම දරුවා ඇතුලත් කරගන්නා මෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයාට නියෝග කළ බව වයඹ පළාතේ අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා රාජපක්ෂ මේ අතර බීබීසී සංදේශයට පැවසීය.

කෙසේ නමුත් එම දරුවා ඇතුලත් කරගැනීම සම්බන්ධයෙන් ඇතැම් ප්‍රදේශවාසීන් දැඩි විරෝධයක් පළ කරන බවත්, දරුවා ඇතුලත් කරගතහොත් ප්‍රදේශවාසීන්ගෙන් පහරකෑමට ලක්විය හැකි බවට විදුහල්පතිවරයා පවා බියපත්ව සිටින බවත් පළාත් සභා අමාත්‍යවරයා පැවසීය.

'දරදඬු මිනිස්සු'

"බොහොම දරදඬු මිනිස්සු ඉන්නවයි කියන ගමක තමයි මේ ගම. ඉතින් මම කිවුව ළමයි සේරම අයින් වුනත් කරන්න දෙයක් නැහැ මේ දරුවා ඇතුලත් කරගන්න කියල මම කිවුව," ඔහු සඳහන් කළේය.

අදාල දරුවා එච්අයිවී ආසාදිතයකු නොවුවත් ඔහුගේ මියගිය පියා සහ මව එච්යිවී ආසාදිතයන් බවට ව්‍යාජ ප්‍රචාරයක් පැතිර යාම ගම්වාසීන්ගේ මේ විරෝධයට හේතුවයි.

එච්අයිවී යනු වයිරසයක් බැවින් එය වාතයෙන් පැතිරිය නොහැකිවාක් මෙන් ම සාමාන්‍ය හමු වීම් මගින්, ස්පර්ශ වීම් මඟින්, වැඩපොළේ, පාසලේ, හෝ ගමේ එක්ව වැඩ කිරීමෙන් ද ශරීර ගත නොවන බවයි මේ පිළිබඳ අදහස් දක්වමින් පුත්තලම දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය එන්ආර් අමරජීව සංදේශයට කියා සිටියේ.

අනාරක්ෂිත ලිංගික හැසිරීම්, රුධිර පාරවිලයනය, ජීවානුහරණය නොකළ එන්නත් කටු භාවිතය හා ආසාදිත මවක ගේ මවු කිරි බීම යන ක්‍රම මෙම වෛරසය තවෙකකු වෙත පැතිර යාමට බලපාන බවද වෛද්‍ය අමරජීව පෙන්වා දෙයි.

පවතින තත්වය සලකා බලා දරුවා පරිවාස භාරයට පත්කොට පාසලට ඇතුලත් කරන මෙන් තමන් කළ ඉල්ලීම දරුවාගේ මව ප්‍රතික්ෂේප කළ බවත් වයඹ පළාතේ අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා රාජපක්ෂ සඳහන් කළේය.

මව ජීවතුන් අතර සිටියදී දරුවා පරිවාස භාරයට පත් කිරීමේ අවශ්‍යතාවය කවරක් දැයි විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේම් එච්අයිවී ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් දක්වන අදහස් පිළිගැනීමට ගම්වාසීන් සූදානම් නැති හැඩක් පෙනී යන බැවින් තමන් එවැනි යොජනාවක් කළ බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර