ඉන්දිය ගිවිසුම: වෘත්තීය සේවාවන් 'ආවරණය නොවේ'

Image copyright pmindia

ඉන්දියාව සමග අත්සන් කිරීමට සැරසෙන තවමත් කෙටුම්පත් නොකළ, සාකච්ඡා මට්ටමේ පවතින කරුණක් පිළිබඳව විරෝධය පළ කරන්නේ කුමන පදනමක් මත දැයි අගමැති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂයෙන් ප්‍රශ්න කළේය.

''තවමත් කෙටුම්පත් නොකළ, සාකච්ඡා මට්ටමේ පවතින කරුණක් පිළිබඳව විරෝධය පළ කරන්නේ කුමන පදනමක් මත දැයි අපට සිතා ගන්නට බෑ''

සැබෑ දේශප්‍රේමීන් නම් කළ යුත්තේ මේ සාකච්ඡා සඳහා සංවර්ධනාත්මක අදහස් හා ගුණාත්මක යෝජනා ඉදිරිපත් කිරීම බව පැවසූ අගමැතිවරයා නමුත් දැන් සිදු වන්නේ තවමත් කෙටුම් පත් නොකළ ගිවිසුමක් ගැන සිහින දකිමින් අසත්‍යය, මිථ්‍යාව, වෛරය හා ක්‍රෝධය පැතිරවීම බවයි සඳහන් කළේ.

යෝජිත ගිවිසුම සඳහා වෘත්තීය සේවාවන් ආවරණය නොවන බව තමන් නැවත වරක් අවධාරණය කරන බව කියා සිටි අගමැතිවරයා කිසිඳු අවස්ථාවක, කිසිම විදේශිකයෙකුට ලාංකීය පුරවැසියෙකුගේ රැකියා අවස්ථා අහිමි කරවමින් මෙරට රැකියාවක යෙදෙන්නට අවකාශ නොසලසන බවයි සඳහන් කළේ.

පසුගිය ආණ්ඩු සමයේ අත්සන් තැබීමට යෝජනාවූ 'සීපා' ගිවිසුමට තමන් විරුද්ධ වීමට එක් හේතුවක් වුයේ වෘත්තීය සේවාවන්ද එම ගිවිසුමට ඇතුළත් කර තිබීම නිසා බවයි අගමැතිවරයා පෙන්වා දුන්නේ.

'සීපා ගිවිසුමට අඩංගු වී තිබුණු සාමාන්‍ය පුද්ගලයන්ගේ නිදහස් ගමනාගමනය පිළිබඳ වගන්ති අප ඉවත් කර තිබෙනවා. මේ වගන්ති නිසා වෘත්තීය සේවාවන් ආවරණය වන බව අපේ පිළිගැනීමයි. ඕනෑම පුද්ගලයෙක්ට මේ රටවල් දෙකට ඇවිල්ල ඕන විදියකට සේවය කරන්න? අපි ඒකට එකඟ නෑ’

ඉන්දීය දුත පිරිසක් ලංකාවේ

ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට අයත් නොවූ තාක්‍ෂණික සහයෝගීතාවය හා පුහුණු කටයුතු පිළිබඳ ක්ෂේත්‍රය යන ක්ෂේත්‍ර දෙක මෙවර ගිවිසුමෙන් ආවරණය වන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

''සාකච්ඡාවලදී එකඟවුණු ප්‍රතිපත්තිමය රාමුව අනුව, ශ්‍රී ලංකා පාර්ශවීය කෙටුම්පත දැන් අප සකස් කරමින් යනවා. ඉන්දීය පාර්ශවයේ කෙටුම් පත ද සකස් කළ පසු, ඒ දෙකම අධ්‍යයනය කර අවසන් ලියැවිල්ල සකස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා''

''මේ ගැන වැඩි දුරටත් සාකච්ඡා කිරීමට මාර්තු 04 වන දා ඉන්දීය දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඔවුන් සමග කෙරෙන සාකච්ඡාවලට පුද්ගලික අංශයේ නියෝජිතයන් මෙන්ම අදාළ සියළු පාර්ශවයන්ද අප සහභාගී කරවා ගන්නවා''

දේශපාලන වාසි සඳහා මෙම ගිවිසුම ගැන වැරදි තොරතුරු සමාජ ගත කිරීමට රාජපක්ෂ පාලනයට සම්බන්ධව සිටි පිරිස් උත්සාහ ගන්නා බවයි අගමැතිවරයා පැවසුවේ.

''රටක බහුතරය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව කියද්දී, අපේ ආණ්ඩුව නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා මූලික පියවර ගනිද්දී මේ අය කිව්වේ මොනවාද? කළේ මොනවාද? නව ව්‍යවස්ථාවේ මේ මේ වගන්ති තියෙනවා යැයි කියමින් රට ගිනි තියන්න උත්සාහ කළා. නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගම නැති වෙනවා කිව්වා. රට බෙදෙනවා කිව්වා. හැබැයි එහෙම කියන අය හොදින්ම දැන හිටියා අලූත් ව්‍යවස්ථාවේ එක වගන්තියක්වත් ඒ වෙන විට කෙටුම් පත් කරලා නැති විත්තිය. ඔවුන් ජනතාව රවටමින් රට ගිනි තියන්න හැදුවේ ඒ බව දැන දැනයි''

මේ වසරේ මැද භාගය වන විට ඉන්දියාව සමග මෙම ගිවිසුම අත්සන් කරන බව පැවසූ අගමැතිවරයා මෙම ගිවිසුම කෙටුම්පත් කල පසු එය පාර්ලිමේන්තුවට මෙන්ම ජනතාවටද ඉදිරපත් කරන බවයි සඳහන් කළේ.

''අවසන් කෙටුම්පත මේ සභාවට ඉදිරිපත් කළාට පසුව, මේ සභාව නියෝජනය කරන ඔබ සැමටත්, මේ රටේ ජනතාවටත් පුළුවන් ඒ කෙටුම් පත කියවන්න. ඒ කෙටුම්පත හදාරන්න. ඒ ගැන ගැඹුරින් විමසා බලන්න. ඒ නිසා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර අවසන් කෙටුම් පත කියැවීමෙන් පසු ඔබේ අදහස් ඉදිරිපත් කරන්න කියලයි''

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර