ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ඉතිහාසයේ මුල් වතාවට අලි පැටියෙක් අමතක වී ගිහිං' - පුබුදු වීරරත්න

2015 වසරේ ජනවාරි මාසයේ සහ පෙබරවාරි මාසයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන වසන්ත සේනානායක විසින් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව නීතිපති දෙපාර්තමේන්තුව සහ රහස් පොලීසිය එක්ව කළ පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස විවිධ පුද්ගලයන් විසින් බලපත්‍ර රහිතව රඳවා ගෙන සිටින අලි ඇතුන් හඳුනා ගැනීමට හැකි වූ බව ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ පරිසරවේදී පුබුදු වීරරත්න පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ නීති විරෝධී ලෙස අලි ඇතුන් රඳවා ගෙන සිටින්නන් ට එරෙහිව පියවර ගැනීම පිළිබඳව සංදේශය සමග දුරකථනය ඔස්සේ අදහස් දක්වමින්.

එලෙස බලපත්‍ර රහිතව රඳවා තබා ගෙන සිටින අලින් අත්අඩංගුවට ගැනීම මෙතෙක් ප්‍රමාද වුයේ අත් අඩංගුවට ගැනීමෙන් පසු එම සතුන් ගාල් කර තැබීමට සහ කැලයට මුදා හැරීමට පෙර පුහුණුවක් ලබා දීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොතිබූ නිසා බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඔහු හෙළි කළ ආකාරයට එසේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව උඩවලවේ ඇත් සෙවනට ආශ්‍රිතව නව අලි රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමෙන් පසුවයි යළිත් අත් අඩංගුවට ගැනීම් ආරම්භ කර ඇත්තේ. මීගොඩ ප්‍රදේශයේ දී අලි පැටවකු අත් අඩංගුවට ගැනීම ඒ අනුව සිදු වූ දෙයක් බවයි පරිසරවේදී පුබුදු වීරරත්න සඳහන් කළේ.

තම විහාරස්ථානයේ සිටි අලි පැටවා පෙරහැර සඳහා අලි ඇතුන් රැගෙන පැමිණි කවරකු හෝ විසින් අත් හැර දමා ගිය සතෙකු බවට උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ විසින් කර ඇති ප්‍රකාශය පිළිගත නොහැකි බව ද ඔහු පැවසුවේය.

නීති ක්ෂේත්‍රයේ ඉහළ තනතුරක් දරන පුද්ගලයෙකුට ද බලපත්‍ර රහිතව අලි ඇතුන් රඳවා තබා ගැනීම පිළිබඳව චෝදනා එල්ලවී තිබූ බව සංදේශය සඳහන් කළ මොහොතේ ඔහු පැවසුවේ අලි පැටවා මිලදී ගත් බව පෙන්වීම සඳහා ඉදිරිපත් කර ඇති ලිය කියවිලි ව්‍යාජ ලෙස සැකසූ ඒවා බව සනාථ වී ඇති හෙයින් එම අලි පැටවා අත් අඩංගුවට ගෙන පින්නවල අලි අනාථාගාරයේ රඳවා ඇති බවයි.