ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ප්‍රගීත් පැහැර ගෙන යාම කුමන්ත්‍රණය කළ සැකකරුවන්ගේ හඬ පටයක්'

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන යාම කුමන්ත්‍රණය කළ බව පැවසෙන සැකකරුවන්ගේ කතා බහ ඇතුළත් හඬ පටයක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටී.

ඒ අනුව සිද්ධියට අදාලව දැනට අත් අඩංගුවට ගෙන සිටින සමහර සැකකරුවන් කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකයක් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඟහරුවාදා අධිකරණයට වාර්තා කළ බවයි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උපුල් කුමාරප්පෙරුම පැවසුවේ.

හඬ පටය ඔස්සේ වැඩිදුර විමර්ශන කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාලයක් ඉල්ලා සිටි බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව මෙහෙයවන පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස්ගේ නිවස අවට අපහාසාත්මක හා බලපෑම් ඇති කරන පෝස්ටර් අලවා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටි බවත් නීතිඥ උපුල් කුමාරප්පෙරුම පැවසුවේය.

එම පෝස්ටර් අලවන ආකාරය කිසිදු සී.සී.ටී.වී. කැමරාවක රූප ගත වී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දුන් බවයි නීතිඥ උපුල් කුමාරප්පෙරුම පැවසුවේ.