තවත් රේගු නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවේ

Image copyright Reuters

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 150 ක අල්ලසක් ලබා ගැනීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් රේගු නිලධාරීන් තිදෙනකුට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය අතරවාරයේ එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් රේගු නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි.

කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, කොමිසමේ නිලධාරීන් විසින් රේගු නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

තීරුබදු රහිතව වාහන අමතර කොටස් ගෙන්වනු ලබන ව්‍යාපාරිකයකු පිළිබඳ පරීක්ෂණ නතර කිරීම සහ ඔහු විසින් ගෙවිය යුතු බදු මුදල් නොගෙවීමට කටයුතු කිරීම සඳහා රුපියල් කෝටි 150 ක අල්ලසක් ඉල්ලා සිටීම සහ ඉන් රුපියල් කෝටි 125 ක් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකාර රේගු නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි වැඩිදුරටත් සඳහන් කළේ.

රුපියල් කෝටි 150 ක්

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අවශ්‍ය අමතර කොටස් ඉන්දියානු සමාගමකින් ගෙන්වනු ලබන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුගෙන් ඉහත කී අල්ලස ලබා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මින් පෙර රේගු නිලධාරීන් තුන් දෙනකු අත්අඩංගුවට ගැනීම සිදු වුනේ පසුගිය වසරේ ඔක්තොබර් 15 වැනිදායි.

එකී පළමු අත්අඩංගුවට ගැනීම්වලට අමතරව අද (24) තවත් රේගු නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීම ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ලෙස්ලි ගාමිනී විසින් තහවුරු කරනු ලැබුණි.

සැකකාර රේගු නිලධාරීන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ වලින් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි පවසන්නේ.

ඉහත කී අල්ලස් අපචාරය ශ්‍රී ලංකාවේ වැඩිම මුදලක් ගිවිස ගත් අල්ලස හැටියටයි මාධ්‍ය මගින් වාර්තා කෙරුණේ.