එමිල්කාන්තන් අදත් උසාවියේ නැහැ

Image copyright THINKSTOCK

කොටි සංවිධානයේ මුල් පෙළේ නායකයෙකු හැටියට සැලකෙන දැනට විදේශගතව සිටින ඇන්තනි එමිල්කාන්තන් නැමැත්තාට ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයට ඉදිරිපත් වීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අද (24) තවදුරටත් කල් ලබා දෙනු ලැබුණි.

ඇන්තනි එමිල්කාන්තන්ගේ නීතිවේදී ලක්ෂ්මන් පෙරේරා පසුගිය නඩු දිනයේ කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය විත්තිකරු ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයට ඉදිරිපත් වීමට පහසුකම් සැලසීමක් වශයෙන් ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබුණ වරෙන්තුවක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

අදාළ නඩුව අද (24) කැදවූ අවස්ථාවේ විත්තියේ නීතිවේදියා කියා සිටියේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සිය සේවාදායකයාට විදේශ ගමන් තහනමක් පනවා ඇති හෙයින් අධිකරණයට ඉදිරිපත් වීමට බාධාවක් පවතින බවයි.

එම තහනම ඉවත් කරන මෙන් ඉල්ලීමක් කළත් කොටුව මහේස්ත්‍රාත්වරයා එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කල බවයි නීතිවේදියා කියා සිටියේ.

නීතිපති මතය

මහේස්ත්‍රාත්වරයාගේ අදාළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තමන් තීරණය කර ඇති බව කියා සිටි විත්තියේ නීතිවේදියා සිය සේවාදායකයා අධිකරණයට ඉදිරිපත් කිරීමේ වගකීම තමා විසින් භාර ගනු ලබන බවයි මහාධිකරණයට කියා සිටියේ.

කෙසේ වෙතත් අදාළ නඩුව මාර්තු මස 03 වනදා යළි කැඳවීමට නියම කළ මහාධිකරණය එදින ඉහත කී ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය දන්වන මෙන්ද නියම කළේය.

1998 වසරේ කළුතර බන්ධනාගාරය තුළ දී හිටපු ඇමති ඩග්ලස් දේවානන්දට උල් ආයුධ වලින් පහර දී මරා දැමීමට තැත් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසිනුයි එමිල්කාන්තන්ට එරෙහි නඩුව පවරා තිබෙන්නේ.