යුද අපරාධ විමර්ශනයට 'විදේශ සහාය ලබාගැනීම සළකා බලනවා'

Image copyright USIP

ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි පැවසෙන යුද අපරාධ විමර්ශනය සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව විශේෂ අධිකරණයක් පිහිටුවන බව විදේශ ඇමති මංගල සමරවීර කියයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඇමරිකාවේ වොෂින්ටන් නුවර සාමය පිළිබඳ ඇමරිකානු මධ්‍යස්ථානයේ ඊයේ බ්‍රහස්පතින්දා පැවැති සමුළුවක් අමතමිනි.

විශේෂ යුද අපරාධ විමර්ශන අධිකරණයක් පිහිටුවීම සඳහා විදේශ නීති විශාරදයන්ගේ හා විනිසුරුවන්ගේ සහාය ලබා ගැනීම පිළිබදව සළකා බලන බව විදේශ අමාත්‍යවරයා පවසයි.

විදේශ සහාය ද ඇතිව විශේෂ අධිකරණයක් පිහිටුවන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය දා පැවති එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් සමුළුවේදීත් පවසා සිටි බවයි සමරවීර ඇමතිවරයා කියා සිටියේ.

මෙම විශේෂ අධිකරණය තවත් මාස පහක් හෝ හයක් ඇතුළත පිහිටුවන බව කී ඇමතිවරයා ඒ පිළිබඳ දෙමළ ජාතික සන්ධානය හා අනෙකුත් පක්ෂ සමඟත් කතා කරන බවයි සමුළුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ.

ශ්‍රී ලංකාව තුළ සිදු කරන යුද අපරාධ හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම පිළිබඳ විමර්ශනයක් සඳහා ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සහභාගිත්වයකට ඉඩ නොදෙන බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය දා බීබීසීය සමග සාකච්ඡාවකට එක් වෙමින් අවධාරණය කළේ.

හමුදාවේ ව්‍යාපාර සිවිල් පාලනයට

එම ප්‍රකාශය සම්බන්ධයෙන් මතු කෙරුණ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ ඇමති මංගල සමරවීර සඳහන් කළේ 'එය ජනාධිපතිවරයා ගේ මතය වන අතර යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට පිළිගත හැකි විශ්වසනීය අධිකරණයක් පත් කර ගැනීම ආණ්ඩුවේ අරමුණ' වන බවයි.

වොෂිංටන් සමුළුව සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහභාගි වූ අතර ඔහු උතුරු නැඟෙනහිර ජනතාව යළි පදිංචි කිරීමේ නිලධාරියා ලෙසයි මෙහිදී හඳුන්වා දුන්නේ.

හමුදාව යටතේ පැවැති ඉඩම් අක්කර තුන්දහසකට වඩා නිදහස් කර ඇති බවත්, ලබන සතියේ තවත් අක්කර හය සියයක් නිදහස් කරන බවයි විදේශ ඇමතිවරයා එහිදී කියා සිටියේ. හමුදාව අත්පත් කර ගෙන සිටින ඉතිරි ඉඩම් ප්‍රමාණයත් ඉක්මනින් නිදහස් කරන බවත් ඇමතිවරයා පවසයි.

උතුරු නැඟෙනහිර ප්‍රදේශවල හමුදාව පවත්වා ගෙන යන ව්‍යාපාර හා හෝටල සිවිල් පාලනයට බාරදීමට කටයුතු යොදමින් සිටින බවත් විදේශ ඇමතිවරයා අවධාරණය කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හැකි ඉක්මනින් අහෝසි කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් පසුගිය සතියේ දී තම ආණ්ඩුවට ඉදිරිපත් වූ බව කියා සිටි ඇමතිවරයා ඒ ගැන ද ඉක්මනින් ම තීරණයක් ගන්නා බවත් කියා සිටියේය.