ලංසි ජාතිකත්වය පිළිගන්නා මෙන් ඉල්ලීමක්

Image copyright b

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ දී සිය සුවිශේෂ අනන්‍යතාවයත් එමගින් තහවුරු කළ යුතු බව නැගෙනහිර පළාතේ බර්ගර් (ලංසි) ජනතාව කියා සිටිති.

එම යෝජනාව ඉදිරිපත් වුනේ නව ව්‍යවස්ථාව පිළිබඳව මහජන මත විමසන කමිටුව මඩකලපුවේ රැස් වූ අවස්ථාවේ.

සිංහල දමිළ සහ මුස්ලිම් වශයෙන් ශ්‍රී ලංකාවේ සෙසු ජන කොටස් සඳහා පවතින සුවිශේෂී අනන්‍යතාවය තමන් සඳහාත් සහතික විය යුතු බවයි කමිටුව ඉදිරියේ සාක්ෂි දෙමින් ලංසි ජාතිකයන්ගේ සංස්කෘතික සංගමයේ සභාපති රෙමිනිසියන් ටෙරී ස්ටොක්වුස් (Remencian Terry Stockvus) කමිටුවට දැනුම් දුන්නේ.

නායකයන් රටවැසියන් අමතා කතා කරන විට සිංහල දමිළ සහ මුස්ලිම් වශයෙන් රටේ ජනතාව ගැන සඳහන් කලත් බර්ගර් ජනතාව ගැන සඳහන් නොකරන බවත් සභාපතිවරයා පවසයි.

‘අපිත් මේ ලංකාවේ ඉපදිච්ච මිනිස්සු. ඒ නිසා අපේ ජාතිය ගැනත් සඳහන් කරන මෙන් අපි ඉල්ලා සිටියා’ ව්‍යවස්ථා කමිටුව ඉදිරියේ අදහස් දැක්වීමෙන් අනතුරුව රෙමිනිසියන් ටෙරී ස්ටොක්වුස් (Remencian Terry Stockvus) බීබීසියට ප්‍රකාශ කළේය.

ගවුම තහනම්

එපමනක් නොව තම ජාතියේ ජනයාට බලපාන විශේෂ ගැටළු පවතින බවත් ඔහු පවසයි.

‘ගවුම ඇඳල රැකියාවට යන්න දෙන්නේ නැහැ. ඉස්කෝලෙට සාරිය ඇඳීම අනිවාර්යයි කියල කියනවා. අපේ කාන්තාවන්ට සාරිය අඳින්න පුරුදු නැහැ. ඒ නිසා අපේ භාෂාව සංස්කෘතිය අනුව කටයුතු කරන්න අපට ඉඩ දෙන්න ඕන’ රෙමිනිසියන් ටෙරී ස්ටොක්වුස් (Remencian Terry Stockvus) කියා සිටියි.

‘අපි අපේ ගෙවල්වල කතා කරන්නේ අපේ ක්‍රියෝල් පෘතුගීසි(Creole Portuguese) පෘතුගීසි භාෂාව. අපේ පොඩි ළමයි ඉස්කෝලේ ගිහින් අපේ භාෂාවෙන් කතා කරන විට ගුරුවරු ඒ භාෂාවෙන් කතා කරන්න එපා කියනවා. මොකද? ගුරුවරුන්ට අපේ භාෂාව තේරෙන්නේ නැති නිසා. ඒ නිසා අපේ භාෂාව එන්න එන්නම මැකිලා යන තත්වයක් පවතිනවා. අපේ භාෂාවත් පාසල් වල උගන්වන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ’

උප්පැන්න සහතික

තම උප්පැන්න ආදියේ නම් ඉංග්‍රීසි භාෂාවෙන් නොවීම ගැටළු ඇති කරන බවත් ඔහු පෙන්වා දෙයි.

රජයේ කාර්යාල බැංකු වැනි ආයතන කරා ගිය විට උප්පැන්නය ඉංග්‍රීසි භාෂාවෙන් නොවීම නිසා සිය අනන්‍යතාව සහතික කිරීමට වෙනත් සහතික කිරීම් අවශ්‍ය වෙන බවයි රෙමිනිසියන් ටෙරී ස්ටොක්වුස් පවසන්නේ.

ඒ නිසා සිය ජාතියේ සාමාජිකයන්ගේ උප්පැන්න ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තැබීම පහසුවක් වෙන බවත් ඔහු කියා සිටියි.

නැගෙනහිර පළාතේ හයදහසක් පමණ ලංසි ජනතාව ජීවත් වෙති.