ඔහුගෙන් දෝ අප හෙට දින සමුගන්නේ...

Image copyright dailynews.lk
Image caption ඔහුගේ වියෝවෙන් ශ්‍රී ලංකා ගීත සාහිත්‍යය තුළ රික්තයක් ඇති නොවන්නට නම් සිංහල භාෂාව හා සාහිත්‍යය පිලිබඳ කැමැති දැනුමැති අනාගත පරපුරක් බිහි විය යුතුය

‘රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි

පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟකළ ආදරයයි....’

ආදරය යනු මිනිස් සිත තුළ පැන නගින අතිශය චමත්කාර ජනක සිතුවිල්ලකි.

ආදරයෙන් පසු ඇතිවන සංයෝගයද, සංයෝගයෙන් පසු ඇතිවන ආදරයද වශයෙන් වූ ආදරයේ මේ දෙයාකාරය විවිධ සමාජ වටිනාකම් හා හර පද්ධතීන් හමුවේ දෝලනය වන මොහොතක වඩාත් අසරණභාවයට පත් වන සංවේදී සිතක් පන්හිඳක තුඩගින් ලියැවෙන වදන් මාලාවකට ගොනු කළ හැක්කේ ද චමත්කාර ජනක සිතුවිලි වලින් පිරි සංවේදී හදවතක් ඇත්තෙකුට පමණි.

ගී පදමාලාවක් තුලින් තුරුණු සිත ප්‍රීතියත් ශෝකයත් අතර වූ හුදෙකලා නිම්නයකට රැගෙන ගිය ඒ සංවේදී හදවතේ හිමිකරුවා අන් කවරෙකු හෝ නොව අජන්තා රණසිංහයන් මය.

එවන් වූ සුන්දර මිනිසෙකු අද තම අවසන් සුසුම වාතලයට මුසුකළ පුවත සිහළ බස දත් සුවහසක් මිනිසුන්ගේ හදවත් සෝ සයුරේ ගිල්වා ලන ශෝකී සැඩපහරක් වන්නේද ඒ නිසාවෙන්මය.

අද කොළඹ ජාතික රෝහලේ දී ජීවන ගීතය ලියා නිම කරද්දී හැත්තෑපස් වෙනි වියේ පසු වූ අජන්තා රණසිංහයන් ලේක් හවුස් ආයතනයේ උපකර්තෘවරයකු හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ උපදේශකයකු වශයෙන් ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය ට මහඟු සේවාවක් කළ නවකතා හා කෙටි කතා ඇතුළු විවිධ කෘතීන් රචනා කළ ගත් කතුවරයෙකි.

ගී උල්පත

සිංහල ගීත සාහිත්‍යය තුළ අමරණීය සලකුණක් තැබූ අජන්තා රණසිංහයන්ගේ ගීත අතර ‘විකසිත පෙම් පොකුරු පියුම්’, ‘රන් කෙන්ඳෙන් බැඳ’, ‘පුංචි දවස්වල නින්දට යද්දී’, ‘රෑ පැල් රකින’, ‘රෑ දුරු රට’, ‘රත්තරන් පෙම් පුරාණේ’ වැනි ගී පද රචනාවන් රාශියකි. විශාරද අමරදේවයන් ගැයූ විකසිත පෙම් ගීතයත්, එච් ආර් ජෝතිපාලයන් ගැයූ රත්තරන් පෙම් පුරාණේ ගීතයත් ළමුන් සඳහා රචිත ‘කුරුම්බැට්ටි මැෂිමේ’ගීතයත් සිංහල ගී රසිකයන් අතර එකිනෙකට වෙනස් වූ ස්ථරයන් වෙත ඒකාකාර වින්දනයක් ලබා දීමට සමත් විය.

රාගය, භීතිය, වීරත්වය හා ශෝකය ආදී වූ කිනම් භාවයක් හෝ රසයකට පෙරලා ගී පද රචනාවක් ඔස්සේ සහෘද සිත් සතන් නිවාලන්නට හැකි අසිරිමත් මිනිසුන් සුලභ නොවේ. අජන්තා එවැනි අසිරිමත් මිනිසෙකි.

විශාරද අමරදේවයන් ගයන ‘බොල් වී අහුරු’ගීතය තුළින් ප්‍රේමයෙන් පරාජිත වූවෙකු මෙලොව සනාතන දහම වෙත නැඹුරු කොට සිත නිවාලන්නට දෙසු බණ පදයක සිසිලස රැගෙන එනවා මිස ඔහු උන්මත්තකයෙකු කරවා සිපිරිගෙට ගෙනයන භාවොද්දීපනයක් සිදු කරන්නෙ නැත.

සනත් නන්දසිරි ගැයූ ‘පෙමාතුර හැඟුම්’ ගීතය ඔස්සේ හුදෙකලා තුරුණු සිතක බුර බුරා නැගෙන රාගී සිතුවිළි සැඩපහර නිසල විල් තෙරක් බවට හරවා ශෘංගාර රසයක් ජනිත කරවයි. සිංහල චිත්‍රපට ගීතාවලියේ දී අජන්තා තැබූ සලකුණ තවත් සියවස් ගණනාවක් යන තුරු නොමැකී යන බවට නම් කිසිදු සැකයක් නැත.

අනුපමේය කුසලතාව

ගත් කතුවරයෙකු ලෙස අජන්තා රණසිංහයන් ලියා පළ කළ ‘මට ළඳුනි වරම් නැත‘, ‘වින්කල් බාස්‘, ‘ක්‍රිස්තුනි කරුණා කළ මැනව‘ වැනි නවකථා මෙන්ම ‘සොල්දාදුවා පෙරළා පැමිණියේද? කෙටිකතාව මගින් ප්‍රකට වන්නේ ද ඔහු සතු වූ අනුපමේය කුසලතාවයි. වරෙක ගීත එකතුවක් මගින් රාජ්‍ය සාහිත්‍ය සම්මානයට ද පාත්‍ර වුයේ ද එයම බවට තවත් සාක්ෂි කුමටද?.

අජන්තා රණසිංහයන්ගේ වියෝවෙන් ශ්‍රී ලංකා ගීත සාහිත්‍යය තුළ රික්තයක් ඇති නොවන්නට නම් සිංහල භාෂාව හා සාහිත්‍යය පිලිබඳ කැමැති දැනුමැති අනාගත පරපුරක් බිහි කිරීම හැර අන් විකල්පයක් නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර