ෆෙඩරල් පාලනයකට ඉන්දියාවේ සහාය ඉල්ලුවා - විග්නේස්වරන්

Image caption දෙමළ ජනතාවට දේශපාලනමය විසදුමක් වශයෙන් ඇත්තේ පෙඩරල් විසදුමක් පමණක් බවයි ප්‍රධාන අමාත්‍යවරයා පවසන්නේ

උතුරු නැගෙනහිර පළාත් දෙක සදහා ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබා දීමට මැදිහත් වන මෙන් තමන් ඉන්දීය නායකයින්ගෙන් ඉල්ලා සිටි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් යාපනයේදී පැවසීය.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්දියාවේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට උතුරු පළාතෙන් ගිය විද්වතුන් පිරිසක් ආපසු පැමිණීමෙන් පසුව ඔවුන්ව පිළිගැනීම පිණිස පැවති උත්සවයකදීය.

දෙමළ ජනතාව දේශපාලනික වශයෙන් ඉතාම භීෂණකාරී වටපිටාවක ජීවත් වූ අවස්ථාවේදී ඔවුන්ව බේරාගැනීමට ඉන්දියාව මැදිහත් වූ ආකාරය විස්තර කළ ප්‍රධාන අමාත්‍යවරයා මේ අවස්ථාවේදී ද ඉන්දියාව මීට මැදිහත්වන බව තමන් විශ්වාස කරණ බවද කියා සිටියේය.

Image caption ඉන්දියාවේ වැඩිදුර අධ්යාපනය හැදෑරීමට උතුරු පළාතෙන් ගිය විද්වතුන් පිරිසක් පිළිගැනීම පිණිසයි උත්සවය පැවත්වී ඇත්තේ.

ශ්‍රී ලංකා රජය එදා දහතුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි තල්ලු වූයේ ඉන්දීය රජයේ බලපෑම මත බවද ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

එහි ප්‍රතිපලයක් වශයෙන් බලතල රහිතව හෝ උතුරු නැගෙනහිර පළාත් දෙකට පලාත් සභා දෙකක් ලැබී ඇති බවද සදහන් කළේය.

යුද්ධය හමාරවීමෙන් පසුව දෙමළ ජනතාව යළිත් වරක් දේශපාලන කුණාටුවකට හසුවී සිටින බව පවසන විග්නේස්වරන් ප්‍රධාන අමාත්‍යවරයා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට දේශපාලනමය විසදුමක් වශයෙන් ඇත්තේ ෆෙඩරල් විසදුමක් පමණක් බව ඉන්දියාව තේරුම් ගෙන ඇතැයිද කියාසිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර