'දමිළ දේශපාලන පක්ෂ අමතක කළ දමිළ සිරකරුවන්'

Image caption මීට ඉහත දී ද දමිළ සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා බන්ධනාගාර අසළ උද්ඝෝෂණ පැවැත්වුණි

රජය පමණක් නොව ‘දෙමල ජාතික සන්ධානය’ ඇතුළු දේශපාලන පක්ෂත් දමිළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැති බව දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින දමිල සිරකරුවන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති අතර සෙසු දමිල සිරකරුවන් කණ්ඩායමක් ද ඊට එක් වෙමින් සිටින බව දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ එම් සත්‍යවේල් පියතුමා බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.

මැගසින් බන්ධනාගාරයේ සිරකරු ආහාර වර්ජනය පිළිබඳව අදහස් දක්වමින් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ මාරිමුත්තු සත්‍යවේල් පියතුමා ප්‍රකාශ කළේ තමන්ට එරෙහි නඩු කටයුතු පෙරට ගෙන යන ලෙස හෝ එසේ නැතහොත් තමන් මුදා හරින ලෙස දමිල සිරකරුවන් ඉල්ලා සිටින බවයි.

ජෙනීවන් ගේ නිදහස අපටත්

පසුගිය අඟහරුවාදා අහාර වර්ජනය ආරම්භ කළ සිරකරුවන් වෛද්‍ය ප්‍රතිකාර පවා ප්‍රතික්ෂේප කර තිබේ. සිරගත කොට වසර පහක් ගතවී ඇතත් තවමත් චෝදනා පත්‍රයක් ඉදිරිපත් වී නැති බවයි සිරකරුවන් පවසන්නේ.

'අඩුපාඩු රාශියක් ඇතැයි සැලකෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව බන්ධනාගාර ගත කොට ඇති මේ සිරකරුවන් නඩු ගොනු කිරීමකින් තොරව රඳවා තබා ගැනීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසට ඔවුන් විශ්වාස කරන බවයි' සත්‍යවේල් පියතුමා ප්‍රකාශ කළේ.

මෙම සංකේත ආහාර වර්ජනය මැගසින් බන්ධනාගාරය තුළ ආරම්භ කළද බලධාරීන් ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ හොත් ඇතැම් විට සියලුම බන්ධනාගාර වෙත ව්‍යාප්තවීමේ ඉඩකඩ පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

“ජනාධිපති තුමා ජෙනීවන් කියන සිරකරුට එරෙහි සියලුම නඩු ඉවත්කර ගනිමින්, නීතිපති දෙපාර්තමේන්තුව හරහා ඔහු නිදහස් කළා” යනුවෙන් පවසන සත්‍යවේල් පියතුමා පැවසුවේ රජය සෙසු සිරකරුවන් පිළිබඳව උනන්දුවක් නොදක්වන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර