යෝෂිත රාජපක්ෂගේ සේවය 'අත්හිටුවයි'

Image copyright Getty

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂයේ සේවය අත්හිටවූ බව නාවික හමුදාව පවසයි.

සීඑස්එන් නාලිකාව සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව එම තීන්දුව ගත් බවයි නාවික හමුදාව කියා සිටියේ.

මේ අතර රිමාන්ඩ් භාරයේ පසු වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහැරීමේ අතුරු නියෝගයක් නිකුත් කිරීම කොළඹ මහාධිකරණය අද සඳුදා ප්‍රතික්ෂේප කළේය.

පෙත්සම්කාර පාර්ශවය අධිකරණය හමුවේ කියා සිටියේ යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් භාරයට පත් කරමින් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය නීතියට පටහැණි බවයි.

නීති විරෝධී නියෝගයකින් යෝෂිත රාජපක්ෂ සිර භාරයේ තබා ගැනීම අනුමත කළ නොහැකි බව කී ඔහුගේ නීතිවේදියා ප්‍රතිශෝධන පෙත්සමේ අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් ඇප මත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ඉල්ලා සිටියේ.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් තීන්දුව දුන් මහාධිකරණ විනිසුරුවරයා යෝෂිත රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත සහ පොදු දේපල පනත යටතේ චෝදනා එල්ල කර ඇති බවයි පෙන්වා දුන්නේ.

ඉහත කී පනත යටතේ සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා දුන් තීන්දුව තුල වරදක් නොමැති මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේය.

ඒ අනුව අතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය ප්‍රතිශෝධන පෙත්සම පිලිබඳ විභාගය මාර්තු මස 08 වනදා පවත්වන බව නිවේදනය කොට ඇත.

නඩු විභාගය අවසන වීමෙන් පසුව මාධ්‍යවලට අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කල හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නඩුව කල් ගිය දිනය පමණක් ප්‍රකාශ කළේය.