ඥානසාර හිමිට තවත් නඩුවක්

මහින්ද රාජපක්ෂ පාලන සමයේ බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුව නිදහස් කෙරුණු චෝදනාවකට නැවතත් නඩු පවරන මෙන් ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර දෙනු ලැබීය.

2008 වසරේ මාලබේ තලාහේන ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථානයකට පහර දී අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එම නඩුව විභාග කළ මහාධිකරණය ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට පසුගිය 2014 වසරේ තීන්දු කළේය.

එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් නීතිපතිවරයා පවසන්නේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීම නීතියට පටහැණි ලෙස සිදු වී ඇති බවයි.

දඬුවම් පැමිණ වීමේ නියෝගයක්

මේ හේතුවෙන් මහාධිකරණ තීන්දුව අවලංගු කොට විත්තිකරුවන්ට දඬුවම් පැමිණ වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ දොස් පවරන බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥාන සාර හිමියන් මූලධර්මවාදී බලවේග හමුවේ පාලකයින් මෙන්ම බෞද්ධ නායකයන්ද මුනිවත රකින බවයි කියා සිටියේ.

අනතුරුව පෙත්සම විභාගය මාර්තු මස 28 වන දින පැවැත්වීමට අධිකරණය නියම කළේය.

මේ අතර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කලබල කරමින් උසාවියට අපහාස කිරීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටි සිහල රාවයේ මහ ලේකම් ඇතුළු ස්වාමීන්වහන්සේලා හය නමක් සහ තවත් පුද්ගලයන් පස් දෙනෙක් අද දිනයේ රුපියල් පන්ලක්ෂය බැගින් වු ශරිර ඇප මත නිදහස් කෙරිණ.