පොහොර සහනාධාරය ඉල්ලා දහස් ගණනක් පෙළපාලියේ

පොහොර සහනාධාරය නැවත ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් දෙදහසකට අධික ගොවියෝ අම්බලන්තොට නගරයේ විරෝධතාවක නිරතව සිටියහ.

වර්තමාන රජය විසින් කප්පාදු කර තිබෙන රුපියල් තුන්සිය පනහේ පොහොර සහනාධාරය නැවත ලබා දෙන ලෙසයි, විරෝධතාවයට එක්ව සිටි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන සියල්ල නියෝජනය කරන උද්ඝෝෂකයන් ඉල්ලා සිටියේ.

සහනාධාර වශයෙන් මුදල් වෙනුවට එම වටිනාකමට සමාන පොහොර ලබා දිය යුතු බව ගොවීන්ගේ ඉල්ලීමයි.

"වර්තමාන ආණ්ඩුව 2016 අයවැය යෝජනාවලින් ගොවි ජනතාවට හානි කරන තීන්දු රාශියක් ගත්තා. අපි අරගල කරලා උපවාස කරලා දිනා ගත්තු මේ පොහොර සහනාධාරයේ කොටසක් රාජපක්ෂ පාලනයෙන් කප්පාදු කළා," සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ විධායක සභික සිසිර කුමාර වාහලතන්ත්‍රි කියා සිටියේය.

"දැන් යහපාලන ආණ්ඩුව එය කපා හරිමින් ඉන්නවා. විවෘත වෙළඳපොළේ පොහොර මිල වැඩිවෙද්දී ගොවීන්ට ස්ථාවර වවුචරයක් දෙනවා. මේ නිසා ගොවියාට අමතර වියදම් කරන්න වෙනවා."

නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 45 ක සහතික මිලක් නියම කරන ලෙසද ගොවීහු ඉල්ලා සිටිති.

අලුත් ගිණුමක්?

මේ අතර පොහොර සහනාධාර මුදල් ලබා ගැනීමේදී ගොවීන්ට රජයේ වාණිජ බැංකුවක සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ 'ගොවිජන බැංකුවේ' නව ගිණුම් ආරම්භ කිරීම සහ සහනාධාර ඉල්ලුම් පත්‍රය සඳහා ඉල්ලුම්කරුගේ ඡායාරූපයක් අනිවාර්ය කිරීම හේතුවෙන් දැඩි අසීරුතාවකට පත් වී සිටින බවට රත්නපුර දිස්ත්‍රික්කයේ ගොවීහු චෝදනා කරති.

වී ගොවිතැන සඳහා හෙක්ටයාර් එකකට ලබා දෙන රුපියල් 25,000ක පොහොර සහනාධාර මුදල රජයේ ඕනෑම වානිජ බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කළ හැකි යැයි රජය නිවේදනය කළත් 'ගොවි දිරිය' නමින් වෙනත් ඉතිරි කිරීමේ ගිණුමක් අලුතින් ආරම්භ කළ යුතු බවයි ගොවීන් පවසන්නේ.

රජයේ වාණිජ බැංකුවක අලුතින් ආරම්භ කළ යුතු ඉහත කී 'ගොවි දිරිය' ගිණුමක් සඳහා රැපියල් 100 ත් 500ත් අතර මූලික තැන්පතුවක් අවශ්‍ය අතර ගොවිජන බැංකුවේ ඇරඹිය යුතු ගිණුම සඳහාද රුපියල් සියයක මුදලක් අනිවාර්ය බව ගොවීහු පවසති.

මෙය පොහොර සහනාධාරය පිළිබඳව ගම්බද ගොවීන් තුල කලකිරීමක් මතුකරන වාතාවරණයක් බවයි ගොවීන් කියා සිටින්නේ.

කෙසේ වුවත් පොහොර සහනාධාරය නැති වෙතැයි බියෙන් රජයේ වාණිජ බැංකුවල නව ගිණුම් ආරම්භ කිරීම සඳහා ගොවීන් පෝලිම් ගැසී සිටිනු දක්නට තිබෙන බවත් ගොවීහු වැඩිදුරටත් පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර