භාරත ඝාතන සැකකරුවන් බේරුණේ 'ආරක්ෂක විධිවිධාන නිසා'

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනකු රැගෙන යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ බස් රථයට යොදවා තිබූ විශේෂ ආරක්ෂාව හේතුවෙන් එම සැකකරුවන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඉහත කී සැකකරුවන් අතර සිටි දෙමටගොඩ චමින්ද හෙවත් චමින්ද රවී නමැත්තාට වෙඩි වැදී ඇතත් ඔහුගේ තත්වය බරපතළ නොවන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය කියා සිටියේ.

භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් විභාග වූ නඩුවට පෙනී සිටීම සඳහා අධිකරණයට රැගෙන ගොස් නැවත බන්ධනාගාර බස් රථයෙන් පැමිණෙමින් සිටියදී දෙමටගොඩ ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරය එල්ල වූ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ජනාකීර්ණ ප්‍රදේශයකදී ප්‍රහාරය එල්ල වූ බැවින් තුවක්කුකරුවන් හඹා යාමට බන්ධනාගාර පොලිස් නිලධාරීන් කටයුතු නොකළ බවත් ප්‍රහාරකයන් සොයා වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර