ඇඹිලිපිටිය මළ සිරුර ගොඩ ගැනීමට පවුලේ විරෝධය

ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයක දී පොලිසිය හා ඇති වූ ගැටුමකින් පසු මියගිය තරුණයාගේ සිරුර ලබන 10දා ගොඩ ගෙන කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ප්‍රමුඛ තිදෙනෙකුගෙන් යුතු වෛද්‍ය මණ්ඩලයක් හමුවේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (03) නියෝග කළේය.

ඇඹිලිපිටිය නව නගරයේ පොදු සුසාන භූමියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන යන අයගේ සිරුර මිහිදන් කර ඇති ස්ථානයට අධිකරණ නියෝග මත විශේෂ පොලිස් ආරක්ෂාව මේ වන විට යොදා ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය නීතිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව මුලින් කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව සහ මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයේ සාක්ෂි හා යම් නොගැළපීමක් පෙනෙන නිසා මරණයට හේතුව වඩාත් තහවුරු කර ගැනීමට මෙසේ දෙවන මරණ පරීක්ෂකයක් ඉල්ලා සිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ සුදර්ශන ද සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

බිරිඳගේ විරෝධය

එහෙත් තම සැමියාගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තමන් පිළිගන්නා බව මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන යන අයගේ විවාහක බිරිඳවූ ශසිකා නිෂාමනී මුණසිංහ නීතීඥ ලක්ෂමන් රම්‍යසිරි මාර්ගයෙන් අධිකරණය දන්වමින් සිරුර යලි ගොඩ නො ගන්නා ලෙස ඉල්ලීමක් කළේය.

මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න මේවන විට රිමාන්ඩ් බාරයේ පසුවෙයි. මුල් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සුමිත් ප්‍රසන්නගේ මරණයට හේතුව අධික ලේ වහනය බව තමන්ද පිළිගන්නා නිසා නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට සිරුර ගොඩ ගැනීමට තම සේවාදායකයා විරුද්ධ නැති බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි මහේෂ් රාජපක්ෂ නිතීඥවරයා පැවසුවේය.

පසුගිය ජනවාරි 04දා ඇතිවූ මෙම ගැටුමේදී තුවාල ලැබූ සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් විසිනව හැවිරිදි එක්දරු පියා දින තුනකට පසු රත්නපුර මහ රෝහලේ දී මිය ගියේය. ඒවනවිට ඔහුගේ ජිවිතය බේරා ගැනීමේ අරමුණින් වම් අත ශල්‍යකර්මයක් මගින් ඉවත් කර තිබුනි.

පොලිසිය හා ඇති වූ ගැටුමේ දී සුමිත් ප්‍රසන්න ඉහළ මහලකින් බිමට තල්ලු කළ බවට ඔහුගේ ඥාතීන් පවසන නමුත් පොලීසිය එය තරයේ ප්‍රතික්ෂේප කරයි.