ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වෙබ්පුවත් ලියාපදිංචිය මාධ්‍ය වාරණයක් නොවෙයි

අපහාසාත්මක තොරතුරු පළ කරන අන්තර්ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අවස්ථාවක් තිබිය යුතු බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ පවසයි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ අද (03)කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

යම්කිසි අන්තර්ජාල ප්‍රකාශනයක් අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශන කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට නම් එම ප්‍රකාශනයේ ප්‍රකාශකයකු සිටිය යුතු බවයි ඇමති සුජීව සේනසිංහ පෙන්වා දෙන්නේ.

තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා තමා කුඩු කාරයකු හැටියට එක්තරා වෙබ් ප්‍රකාශනයක් වාර්තාවක් පළ කළ අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීම සඳහා එම ප්‍රකාශකයන් සොයා ගැනීම අසීරු වූ බවයි කියා සිටියේ.

එහෙත් යෝජිත නීතිය ජනමාධ්‍ය පාලනයක් නොවන බවත් සුජීව සේනසිංහ ඇමතිවරයා අවධාරණය කරයි.

ලියාපදිංචියේ ප්‍රතිලාභ

එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අන්තර්ජාල පුවත් වෙබ් අඩවි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි කළ යුතු බවට කළ නිවේදනය ජනමාධ්‍ය පාලනය කිරීමේ අපේක්ෂාවෙන් සිදු කළ දෙයක් නොවන බවයි.

මෙම මාර්තු 31 වැනි දිනට පෙර පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි නොවන ප්‍රවෘත්ති වෙබ් අඩවි නීති විරෝධී ප්‍රකාශන ලෙස සලකනු ලබන බවයි ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් පළ කරනු ලැබ ඇති පුවත් පත් දැන්වීම් වල දැක්වෙන්නේ.

ආණ්ඩුවේ එම නිර්දේශයට එරෙහිව ජනමාධ්‍ය සංවිධාන වලින් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා (03) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන කියා සිටියේ ‘ලියාපදිංචිය මගින් වෙබ් අඩවි ජනමාධ්‍යවේදීන්ටත් ආණ්ඩුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන හැඳුනුම්පත් ලබා ගැනීමට සහ අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබන පුහුණු වැඩ සටහන් ආදියට එක්වීමට අවස්ථාවක් ලැබෙන’ බවයි.

වැරදි අර්ථකථන

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධ කර ඇති දැන්වීම් වැරදි ආකාරයට අර්ථ ගන්වා ඇති බවයි නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන පවසන්නේ.

මෙලෙස පුවත් වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ අර්ථය වන්නේ ‘කිසිදු වෙබ් අඩවියක අන්තර්ගතයට බාධා සිදු නොකිරීම’ වන බවත් නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.