වම දකුණ මාරු වීම ගැන වෛද්‍ය විමර්ශනයක්

දකුණු පාදයේ ආබාධයක් සඳහා ශල්‍යකර්මයක් සිදු කිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ දැරියකගේ වම් පාදයට ශල්‍යකර්මයක් සිදු කර ඇති බවට ඊයේ දිනයේ දී ජනමාධ්‍ය තුල වාර්තා පළ විය.

එම වාර්තා සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් සිදු කිරීමට මේ වන විට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පාලිත මහීපාල විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් මත මේ විශේෂ පරීක්ෂණය ආරම්භ කර තිබේ.

දකුණු පාදයේ ආබාධයක් සඳහා වෛද්‍ය උපදෙස් මත ශල්‍යකර්මයක් සිදු කිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ දාහතර හැවිරිදි දියණියගේ වම් පාදය ශල්‍යකර්මයකට ලක් කර ඇති බව පවසමින් ඇගේ පියා මාර්තු දෙවන දින පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

රෝහලේ අස්ථි හා විකලාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා විදේශගත ව සිටි බැවින් මාර්තු පළමුවැනිදා පෙරවරු 9.00ට පමණ එම විශේෂඥ වෛද්‍යවරයාගේ සහායක ශල්‍ය වෛද්‍යවරයා විසින් මෙම සැත්කම සිදු කර තිබේ.

'දින තුනකින් තවත් ශල්‍යකර්මයක් සිදු කරනවා'

Image copyright Facebook

පිළිමතලාව ඩී.බී විජේතුංග මාවතේ පදිංචි සැත්කමට ලක්වූ දැරියගේ පියා විසින් ඊයේ දිනයේ දී දහවල් බලහත්කාරයෙන් රෝහලෙන් දරුවා ඉවත් කර ගනු ලැබ ඇති අතර පසුව පෞද්ගලික රෝහලකට රැගෙන යනු ලැබිණ.

දැරියගේ දකුණු කකුලේ දණහිසේ ඇතිවූ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි විසිවන දින පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පුද්ගලික රෝහලක දී ලබා දුන් උපදෙස් අනුවයි දැරිය පේරාදෙණිය රෝහලේ 16 වැනි වාට්ටුවට ඇතුළත් කිරීමට අයගේ දෙමව්පියන් පියවර ගෙන තිබෙන්නේ.

තම දියණිය ශල්‍යකර්මයට ලක් කර පිටතට ගෙනෙන අවස්ථාවේ දී වම් කකුල ශල්‍යකර්මයට ලක් කර තිබෙනු දුටු ඇයගේ පියා ඒ පිළිබඳව වෛද්‍යවරයාගෙන් විමසූ විට වම් පාදයේ ආබාධයක් තිබූ නිසා එය ශල්‍යකර්මයකට ලක් කළ බවත් , තවත් දින තුනකින් දකුණු පාදයේ ශල්‍යකර්මයක් සිදු කරන බවත් වෛද්‍යවරයා තමන්ට පැවසූ බවයි දරුවාගේ පියා පවසන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් පිළිතුරු

රජයේ වෛද්‍යවරයෙකු විසින් සිදු කරන ලද ශල්‍යකර්මයක් සම්බන්ධයෙන් පැන නැගී ඇති මෙම තත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංවිධානය ගෙන ඇති පියවර කුමක්දැයි සංදේශය කළ විමසීමකදී පිළිතුරු දුන් එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා කියා සිටියේ තවමත් ඉදිරිපත්ව ඇත්තේ එක් පාර්ශවයක් විසින් ලබා දුන් තොරතුරු පමණක් බවයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යම් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීන්දු කරයි නම් ඒ වැලක්වීමට හෝ විරුද්ධ වීමට සිය සංවිධානය ක්‍රියා නොකරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මාදුළුවාවේ සෝභිත හිමියන් රෝගීව සිටි අවස්ථාවේ මාලඹේ පෞද්ගලික රෝහලකින් නිසි ප්‍රතිකාර ලබා නුදුන් බවට හඬ නැගූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වකුගඩු ජාවාරම් සහ නොසැලකිලිමත් වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව රජයේ වෛද්‍යවරුන්ට එරෙහිව එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් මුනිවත රැකීමේ සම්ප්‍රදායක් පවතින බවට එල්ල වන චෝදනා පිළිබඳ සංදේශය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් වෛද්‍ය නවීන්ද සොයිසා කියා සිටියේ සිය සංගමය එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර වෙනසක් නැතිව වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක වීමට විමර්ශන තොරතුරු ලැබෙන තුරු බලා සිටින බවයි.

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණ වාර්තාව රජය ඉදිරිපත් කිරීමෙන් පසු වැරදිකරුවන් සිටීනම් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තම සංගමය සුදානම් බවයි වෛද්‍ය නවීන්ද සොයිසා කියා සිටියේ.