එමිල්කාන්තන්ට යළිත් වරෙන්තු

Image copyright THINKSTOCK

විදේශගත කොටි නායකයෙකු යැයි පැවසෙන ඇන්තනි එමිල්කාන්තන් නැමැත්තා අත් අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (03) යළිත් වරෙන්තු නිකුත් කළේය.

ඇන්තනි එමිල්කාන්තන් අධිකරණයට භාර වීමට සුදානම් බවට ඔහුගේ නීතිවේදීන් විසින් සිදු කරන ලද දැනුම් දීමක් පිළිගත් මහාධිකරණය ඔහු අත් අඩංගුවට ගන්නා මෙන් ජාත්‍යන්තර පොලිසියට දැනුම් දෙමින් කලින් නිකුත් කර තිබුණ වරෙන්තුව සහ රතු නිවේදනය ඉවත් කර ගැනීමට පසුගියදා පියවර ගෙනයි තිබුණේ.

එහෙත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් අදාළ විත්තිකරුට එරෙහිව ගමන් තහනමක් පනවා ඇති අතර එය ඉවත් කිරීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි විත්තියේ නීතිවේදියා කියා සිටියේ.

මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර සහනයක් ලබා ගන්නා තුරු විත්තිකරුට අධිකරණයට පැමිණ භාර වීමට සාධාරණ කාලයක් ලබා දෙන ලෙස විත්තියේ නීතිවේදීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

භාර වීමට බාධා නැහැ

Image copyright epdpnews
Image caption ඩග්ලස් දේවානන්ද

එහෙත් එම ඉල්ලීමට විරෝධය පළ කළ රජයේ නීතිවේදිනිය සාධාරණ කාලයක් ගත වී තිබියදීත් විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොවූ හෙයින් අදාළ වරෙන්තුව නැවත පනවන මෙන් ඉල්ලා සිටියාය.

ඒ අනුව අදාළ වරෙන්තුව යළි බල සහිත කරන මෙන් නියෝග කළ මහාධිකරණය එක් විත්තිකරුවකුට පමණක් සුවිශේෂ වරප්‍රසාද සලසා දිය නොහැකි බවයි කියා සිටියේ.

වරෙන්තු නිකුත් කළත් විත්තිකරුට අවශ්‍ය නම් පැමිණ භාර විය හැකි බව කියා සිටි අධිකරණය නඩු විභාගය මැයි මස 18 වැනි දිනට කල් තැබීය.

කළුතර බන්ධනාගාරය තුළදී හිටපු ඇමති ඩග්ලස් දේවානන්ද ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා ඇන්තනි එමිල්කාන්තන් ඇතුළු හතර දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත.