'රතුපස්වල ප්‍රශ්නය සහමුලින් විසඳනවා'

ප්‍රහාරයට ලක් වූ රතුපස්වල ජනතාවට වන්දි ලබා දීම හා ඔවුන්ට එරෙහිව පවරා තිබෙන නඩු ඉවත් කර ගැනීමට තීරණය කල බව ජනාධිපති කාර්යාලය පවසයි.

අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී එම තීරණයට එළැඹි බවයි ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක සංදේශයට කියා සිටියේ.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ රතුපස්වල බහුජන සංවිධාන මීට ඉහතදී තමාට ඉදිරිපත් කළ කරුණු ජනාධිපතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව අද සාකච්ඡාව පැවැත්වුණු බවයි ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා පැවසුවේ.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ එළඹෙන අප්‍රේල් මස පස් වන දිනට පෙර රතුපස්වල ජනතාව මුහුණ දී සිටින අර්බුදය සහමුලින්ම විසඳිය යුතු බවට එකඟතාවකට පැමිණීමට මෙම සාකච්ඡාවේ දී සමත් වූ බවයි.

මානව හිමිකම් වාර්තා සැලකිල්ලට ගෙන රතුපස්වල ගැටුම් වලදී මියගිය පුද්ගලයන් තිදෙනෙකුට මේ වන විට ජනාධිපති අරමුදල මගින් රුපියල් මිලියනය මගින් වන්දි ලබා දීමට කටයුතු කර ඇති බවත් ශිරාල් ලක්තිලක සඳහන් කළේය.

වන්දි ලබා දීම

කෙසේ වෙතත් රතුපස්වල ගැටුමෙන් උකුල් ඇටය බිදී යාමෙන් පුර්ණ ලෙස ආබාධිත තත්වයට පත් වූ එක් පුද්ගලයකු, අර්ධ ලෙස ආබාධයන්ට ලක්වූ පුද්ගලයන් හතර දෙනකු සහ කායික පීඩා වලට ලක් වූ තවත් තිස් පහක පිරිසකට තවමත් වන්දි ලබා දීම සිදු කර නැති බව පැවසූ ඔහු කියා සිටියේ මෙම පිරිසට ලංකාවේ පිළිගත් වන්දි නිර්ණායක යටතේ තීරණය කෙරුණු මුදල් ප්‍රමාණ ලබා දීමට සාකච්ඡාවෙන් පසු ගම්පහ දිසා ලේකම්වරයා එකඟ වූ බවයි.

ඊට අමතරව මේ වන විටත් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ රහස් පොලිසිය විසින් විවිධ චෝදනා යටතේ නඩු පවරා තිබෙන රතුපස්වල ගැටුමට සම්බන්ධ පුද්ගලයන් හැටක් පමණ දෙනා මුහුණ දී සිටින විභාග ඉවත් කර ගැනීමට හැකියාව පවතීදැයි පරීක්ෂා කර බැලීමටත් අද එකඟතාව පළවූ බවයි ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා කියා සිටියේ.

කෙසේ වෙතත් තීරණය කෙරුණු පියවර සම්බන්ධයෙන් රතුපස්වල ජනතාව දැනුවත් කිරීමට තවමත් පියවර ගෙන නොමැති අතර අප්‍රේල් මාසයේ යොදාගත් සීමා දිනයෙන් පසු ගම්පහ දිසා ලේකම්වරයා හරහා විපතට පත් කණ්ඩායම් වලින් රජය ගනු ලැබූ පියවර වල බලපෑම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.