ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

HIV භීතිය: 'ඩොක්ටර් කෙනෙක් වෙන්න ආසයි'

"ඩොක්ටර් කෙනෙක් වෙන්න ආසයි," පාසල් විය එළැඹි බොහෝ දරුවන්ගේ ප්‍රාර්ථනය එය වියහැකියි.

එහෙත් එය ලොව කෝටි සංඛ්‍යාත දරුවන්ට හිමි මූලික මානව හිමිකමක් වන අධ්‍යාපනය ලැබීමේ වරම අහිමි කරනු ලැබූ ලාංකීය දරුවකුගේ බලාපොරොත්තුවක් නම් ...

එච්අයිවී ආසාදිතයකු බවට පැතිර ගිය ව්‍යාජ ප්‍රචාරයක් හේතුවෙන් පාසල අහිමි වූ දරුවා එසේ සිය බලාපොරොත්තුව හෙළි කළේ බීබීසී සංදේශය වෙනුවෙන් ඔවුන් හමුවීමට ගිය ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න සමඟ දොඩමලු වෙමින්.

ඒ දරුවා මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පළමු වතාව එයයි.

ළමාරක්ෂණ අධිකාරියේ නිලධාරීන් විසින් නිවසටම ගෙනැවිත් දුන් රජයේ පෙළ පොත්වලට පිටකවර දමා සුරැකිව තබාගෙන සිටි දරුවා, සිය පුතු සහ බිරිඳත් සමඟින් එහි පැමිණි මාධ්‍යවේදියාට ඒ පොත් එකිනෙක පෙන්වූයේ පාසල් ගොස් අකුරු කිරීමේ නොනිත් ආසාව විදහා දක්වමින්.

දරුවාගේ මවත්, ආත්තම්මාත් ඒ සංවාදයට එක්වුණේ ඔවුන්ගේ වේදනාව පිට කිරීමේ මගක් බලා සිටි විලසින්.

"මොනවා කරන්නද? දැන් ළමයට ඉස්කෝලයක් නෑනේ? හේතුවක් දන්නේ නෑ. වටපිටාවේ ඔක්කොම තරහයි."

සිය පුතුට පාසල් යාමේ වරම අහිමි කිරීමට එරෙහිව සිය මූලික අයිතීන් කඩ වී ඇතැයි පවසමින් දරුවාගේ මව ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යවරයා, කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා, කුලියාපිටිය බෝගහැන්දිය ප්‍රාථමික විදුහල සහ දියතලමුල්ල රාජකීය විදුහලේ විදුහල්පතිවරුන් බවයි පැවසෙන්නේ.

"දරුවට දැන් මාස දෙකක් ඉස්කෝලේ නෑ. ඉතින් මම ඉල්ලන්නේ කල් දාන්නේ නැතුව දරුවට ඉස්කෝලයක් අරන් දෙන්න කියලා."

ගම්වාසීන් බොහෝදෙනාගේ උදහසට ලක් වී සිටියත්, දරුවා සිය පාසලට එවන මෙන් වෙනත් ප්‍රදේශ කිහිපයකින් දැන් ආරාධනා ලැබී තිබේ.

එහෙත් එය සිය ගැටලුවට ස්ථිර විසඳුමක් විය යුතු බව මව අවධාරණය කරන්නීය.

"නැත්නම් අද ඉඳල හෙට එන්න නෙමෙයි දරුවගේ ඉස්කෝලේ ආපහු සැරයක් කඩාකප්පල වෙන හින්ද මං ඒකට කැමති නෑ."

දරුවාට ස්ථිර පාසලක් ලබා දී තමන්ටත් ස්ථිර ජීවිකාවක් සලසා දෙන්නේ නම් වෙනත් ප්‍රදේශයක පදිංචියට යාමට සූදානම් බවත් ඇය පවසන්නීය.

නිසි දෛනික ආදයමක් නොමැතිවීම නිසා ඔවුන් එදා වේල සරිකරගන්නේත් ඉතා අසීරුවෙන්.

"අද ඉවුවේ නෑ දවසටම," ඇය පැවසුවේ වේදනාව මුසු අහිංසක සිනහවක් මුවඟට නගා ගනිමින්.

"ඉවුවේ නෑ ඉතින් උදේ ඉඳන් උයන්න මුකුත් තිබ්බෙත් නෑ. කෑම බීමත් නැති තරම් තමයි අපි දැන් ජීවෙත්වෙන්නේ."

අසල්වැසියන් තමන්ට උසුළු විසුළු කරමින් සිය දරුවන් සමඟ පාසල් යන අතරවාරයේ, තමන් අසරණව 'බිත්ති හතරකට කොටු වී සිටින' බවත් ඇය කියා සිටියාය.