වෛරී චේතනාවෙන් ඡන්ද සටනේ; සමාජ මාධ්‍ය ජාලයේ හැසිරීම

Image copyright b

මෙත්ලාල් වීරසූරිය

කොළඹ සිට.

ශ්‍රී ලංකාවේ 2015 මහ මැතිවරණ සමයේ ඇතැම් සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල පළ වූ ද්වේෂ සහගත අවලාදවල ඉලක්කය වී තිබුණේ ‘සිංහල -බෞද්ධ නොවන පුරවැසියකුට රටේ ජනාධිපති හෝ අගමැති හෝ වීමට නොහැකිය’ යන මතය තහවුරු කිරීමට යත්න දැරීමක් වන බව එම මහ මැතිවරණය පාදක කර ගනිමින් සිදු කෙරුණ නවතම අධ්‍යයනයක් මගින් පෙන්වා දෙයි.

එම අදහස මතු කරනු ලැබ තිබෙන්නේ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ වෛරී භාෂාව යොදා ගන්නා රටාව සහ එහි වර්ධනය ගැන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සම්බන්ධයෙන් සිදු කළ නව අධ්‍යයන වාර්තාවක් මගිනි. ( ‘Voting in Hate’ – ‘වෛරී චේතනාවෙන් ඡන්දය දීම’- a study of online hate speech surrounding Sri Lanka’s Parliamentary Election of 2015)

‘ෆේස් බුක්’ වැනි සමාජ මාධ්‍ය ජාල යොදා ගනිමින් එහි ක්‍රියාත්මක කණ්ඩායම් එකොළහක් තම දේශපාලන විරුද්ධවාදීන් ගේ ජාතිය, ආගම හෝ ස්ත්‍රී - පුරුෂ භාවය ඉලක්ක කර ගනිමින් ‘එම පුද්ගලයන් සමාජයට එපා කරවන චේතනාවෙන්’වෛරී සහගත අවලාද යොදා ගැනුණු ආකාරයයි සමීක්ෂණය මගින් නිරීක්ෂණය කරනු ලැබ තිබෙන්නේ.

ඉදිරි මැතිවරණ පාඩම්

2015 අගොස්තු මස 17 වැනි දින දක්වා මාසයක කාලයක් පාදක කර ගනිමින් සිදු කරන ලද අධ්‍යයනයෙන් හෙළි කර ගත් කරුණු උපයෝගී කර ගනිමින් ඉදිරි මැතිවරණයක දී ආණ්ඩුව, මැතිවරණ අපේක්ෂකයන් සහ ඡන්දදායකයන් සමාජ මාධ්‍ය ජාල පරිහරණයේ දී ප්‍රවේසම් විය යුතු අංශ සහ ඊට ඇති අභියෝග හඳුනා ගැනීම සඳහා සිය අධ්‍යයනයේ ප්‍රතිඵල යොදා ගන්නා බවයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පවසන්නේ.

2015 අගෝස්තු මහ මැතිවරණය තරම් ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය ජාල භාවිතා වූ ඡන්ද ව්‍යාපාරයක් මෑත ඉතිහාසයේ දක්නට නොලැබුණි.

රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ වැනි ප්‍රධාන පෙළේ නායකයන් ෆේස් බුක් සහ ‘ට්විටර්’ වැනි සමාජ මාධ්‍ය ජාල හරහායි ඔවුන්ගේ මැතිවරණ සටන පෙරට ගෙන ගියේ.

ඒ සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පර්යේෂකයන් හැට දෙනකුගේ දායකත්වයෙන් සිදු කෙරුණු පර්යේෂණය සඳහා බස්නාහිර පළාතේ විවිධ වයස් කාණ්ඩවලට අයත් පුද්ගලයන් දෙදහසකට ආසන්න පිරිසකගෙන් තොරතුරු ලබා ගත් බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පවසයි.

Image copyright Reuters

දෙදහසක නියැදියක්

පර්යේෂණ වාර්තාවට අනුව තොරතුරු හා කාලීන පුවත් ලබා ගන්නා මුලාශ‍්‍ර අතරින් පුද්ගලික රූපවාහිනී මාධ්‍ය මුල් තැන හිමි කර ගන්නා අතරවාරයේ එහි දෙවැනි තැනට පැමිණ ඇත්තේ ෆේස්බුක් (facebook) සහ අන්තර්ජාලය යි.

අගෝස්තු මැතිවරණ සමයේ දී විශේෂයෙන්ම මුස්ලිම් අපේක්ෂකයන් ඉලක්ක කර ගනිමින් ඉස්ලාම් විරෝධී වෛරී ප්‍රකාශ යොදා ගැනීමත්, ගව ඝාතන සහ අත් පා කපා දැමීම වැනි අරාබි රටවල දඬුවම් ගැන ඡායාරූප හා විස්තර ඇතුළත් අවලාද යොදා ගැනීමත් කැපී පෙනුණු බවයි වාර්තාව සඳහන් කරන්නේ.

අයි.එස්.අයි.එස්. සංවිධානය (ISIS) ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ඉහත කී සමාජ මාධ්‍ය ජාල ප්‍රකාශන මගින් මැතිවරණ සමයේ ප්‍රකාශයට පත් වූ බවත් එහි දැක්වෙයි.

සිංහල බෞද්ධ පමණයි

සිංහල-බෞද්ධ නොවන අයකුට රටේ ජනාධිපති හෝ අගමැති හෝ වීමට නොහැකිය යන මතය තහවුරු කිරීමට උත්සාහ දරන ආකාරය ඇතැම් සමාජ මාධ්‍ය ජාල මෙහෙය වූ කණ්ඩායම් වෙතින් ඉස්මතු කෙරුණ අතර ඊට අමතර ව ඇතැම් ක්‍රිස්තියානි අපේක්ෂකයන්ට අවලාද නැගීමක්ද,ඇතැම් විට ක්‍රිස්තියානි නොවන අපේක්ෂකයන්ගේ අනන්‍යතාව වරදවා වටහා ගනිමින් ඔවුන්ට අවලාද නගන ප්‍රකාශන ප්‍රචාරය කිරීමක් ද සිදු වූ බවයි විකල්ප කේන්ද්‍රයේ පර්යේෂණ වාර්තාව සඳහන් කරන්නේ.

කාන්තාවන් ඉලක්ක කර ගත් වෛරී අවලාද ප්‍රචාරයේ අඩුවක් දක්නට ලැබුණත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂිකාවන්ට විරුද්ධ ශාරීරික හා ලිංගික හිංසන තර්ජන කීපයක් දක්නට ලැබුණු බවත් වාර්තාව පෙන්වා දෙයි.

දෙමළ දේශපාලන නායකයන් බෙදුම්වාදයේ නියමුවන් යැයි හැඳින්වෙන ප්‍රකාශන සඳහා විශේෂ ඉඩකඩක් වෙන් කිරීමට සමාජ මාධ්‍ය ජාලයේ ඉහත කී කණ්ඩායම් කටයුතු කර ඇති බවයි වාර්තාව අවධාරණය කරන්නේ.

සමාජ මාධ්‍ය දැක්ම

විශාල ජන සංහාරයක් සිදු කරමින් ලෝකයේ වැඩිම යුද්ධ ගණනාවක් සිදු කොට ඇත්තේ ආගම මූලික කර ගෙන බවට ඉතිහාසය දෙස් දෙන බව පෙන්වා දෙන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ වාර්තාව ‘බෞද්ධයන් පමණක් උතුම් බවත් සිංහලයන් පමණක් පාලකයන් විය යුතු බවත් අනෙක් ආගම් සහ වාර්ගික කණ්ඩායම් අමුත්තන් බවත්’ තහවුරු කිරීම ඉහත කී සමාජ මාධ්‍ය ජාල ප්‍රචාරකයන්ගේ දැක්ම වී තිබුණ බවත් පෙන්වා දෙයි.