පාතාලය හිස එසවීමෙන් රටම අනාරක්ෂිතයි - ඩලස්

Image caption 'අගෝස්තු මාසයේ මහමැතිවරණ සමයේ රටින් බැහැර වෙලා හිටපු ඇතැම් පාතාල නායකයන් ආනයනය කළා මේ රටට'

මෑත කාලය තුළ වාර්තා වෙමින් පවතින පාතාලයට සම්බන්ධ බව පැවසෙන වෙඩි තැබීම් සහ ඝාතන නැවැත්වීමට ආණ්ඩුව ඇතුළු වගකිවයුතු පාර්ශව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

පාතාලය මර්දනය නොවන්නේ ඔවුන්ට කිසියම් දේශපාලන කණ්ඩායම් වල සහාය හිමි වන නිසා දැයි ජනතාව තුළ සැකයක් ඇති වී තිබෙන බවයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේ.

'අගෝස්තු මාසයේ මහමැතිවරණ සමයේ රටින් බැහැර වෙලා හිටපු ඇතැම් පාතාල නායකයන් ආනයනය කළා මේ රටට' ඔහු සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසන්නේ පැවති ආණ්ඩුව විසින් මැඩ ලා තිබූ පාතාල කල්ලි යළි හිස එසවීමෙන් රට තුළ ජීවිත බියක් මතු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිස් කොමිසමට පැමිණිලි කරන බවයි.

ආණ්ඩුව ආයෝජකයන්ට අත වනන අතරවාරයේ අනිත් අතින් පවතින තත්වය සංචාරකයන් පවා බිය ගන්වනු ලබන එකකැයි පවසන මන්ත්‍රීවරයා පාතාලය පිළිබඳ කතා කිරීම සිය ජීවිතයට පවා තර්ජනයක් විය හැකි බවයි කියා සිටියේ.

මේ අතර මෑත කාලය තුළ වාර්තා වෙමින් පවතින පාතාලය හා සම්බන්ධ අපරාධ රැල්ල මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

සීග්‍රයෙන් හිස ඔසවමින් පවතින සහ රට පුරා ප්‍රචණ්ඩත්වය පතුරවා හරිමින් සිටින පාතාල කණ්ඩායම් මුලිනුපුටා දැමීමේ අරමුණින් සෙනසුරාදා උදෑසන සිට විශේෂ මෙහෙයුමක් දියත් කොට ඇති බවත් පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක් දැක්වේ.

සැක කටයුතු පුද්ගලයන් සහ රථවාහන පරීක්ෂාවට ලක් කිරීම සඳහා කොළඹ පොලිස් කලාපය තුළ ජංගම මාර්ග බාධක එකසිය දෙකක් පිහිටුවා ඇති බවත් එමගින් පැවසේ.

'මුලිනුපුටා දැමීමට'

Image copyright Getty

විශේෂ මෙහෙයුම් කටයුතු පැය තුනකට පමණක් සීමා වන අතර එම මෙහෙයුම් අවසානයේ ඒ හා සම්බන්ධ වාර්තා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා වෙත භාර දිය යුතු බවත් නිවේදනයේ සඳහන්.

එම පියවර වලට අමතරව කොළඹ පොලිස් බල ප්‍රදේශ දහයක එක බැගින් වූ ජංගම ඒකක පිහිටුවීමටද පියවර ගන්නා බවයි පොලිසිය පවසන්නේ.

මේ සඳහා පොලිස් නිලධාරීන් 08 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පත් කිරීමට ද නියමිතයි.

එම කණ්ඩායම ප්‍රදේශ භාර සහකාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් නිවේදනයේ සඳහන්.

යම් කිසි සිද්ධියකදී අදාළ ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය ගෙන් වීමේ හැකියාව ද එක් එක් ජංගම ඒකකයන්හි අධීක්ෂණය භාර සහකාර පොලිස් අධිකාරීවරයාට හිමි වේ.

පසුගිය දින කිහිපය තුළ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වෙඩි තැබීමේ සිද්ධීන් සහ පුද්ගල ඝාතන වාර්තා වූ අතර එම සිද්ධිවලට පාතාල සාමාජිකයින්ගේ සම්බන්ධයක් පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

දිගු කලක් අක්‍රියව පැවැති පාතාලය යළි ක්‍රියාත්මක වී ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.