වැට් බදු ඉහළට, අත්‍යවශ්‍ය සේවා නිදහස් - අගමැති

Image caption ''ආණ්ඩුව ඉතා බරපතල විදියට ණය වී තිබුණා. ණය කන්දරාවක්. මේ ණය කන්දරාවේ ප්‍රමාණය හොයා ගැනීමත් ඉතා අසීරු කටයුත්තක් වුණා. ඒ තරම්ම අවිධිමත් විදියටයි ණය ගෙන තිබුණේ.''

එකතු කළ අගය මත බදු හෙවත් වැට් බද්ද 15 % දක්වා ඉහළ දමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

ලෝකයේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ පවත්නා දුර්වලතා හේතුවෙන් 15% ක තනි වැට් බදු අනුපාතයක් පවත්වා ගැනීම වඩාත් ආරක්‍ෂා සහගත විකල්පයක් බව අගමැතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනුයි.

විදුලි සංදේශ සේවා, පෞද්ගලික අධ්‍යාපනය සහ පෞද්ගලික සෞඛ්‍ය මත ලබා දුන් බදු සහන ඉවත් කරන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

වැට් බදු වැඩි කිරීම හරහා අඩු ආදායම් ලාභීන්ට පීඩාවක් ඇති වීමට ඉඩ ආණ්ඩුව ඉඩ නොතබන බවයි අගමැතිවරයා කියා සිටියේ.

''අත්‍යවශ්‍ය භාණ්ඩ සහ විදුලි බලය සඳහා වැට් බදු පනවන්නේ නෑ. අත්‍යාවශ්‍ය භාණ්ඩ නොවන තෝරාගත් තොග සහ සිල්ලර භාණ්ඩ කිහිපයක් මත පමණක් වැට් බදු පැනවීමට අප ක්‍රියා කරනවා.''

රටේ ආර්ථිකයේ සැබෑ තත්වය සහ ගෝලීය ආර්ථික අර්බුදය හේතුවෙන් 2016 අයවැය යෝජනාවට අදාළ බදු ප්‍රතිපත්ති කීපයක් සංශෝධනය කෙරෙන බවත් අගමැතිවරයා පැවසීය.

'ණය කන්දරාවක්'

පැවති රාජපක්ෂ පාලනය ගනු ලැබූ ණය සහ පොලී හේතුවෙන් රටේ මෙවැනි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි අගමැතිවරයා කියා සිටියේ.

''ආණ්ඩුව ඉතා බරපතල විදියට ණය වී තිබුණා. ණය කන්දරාවක්. මේ ණය කන්දරාවේ ප්‍රමාණය හොයා ගැනීමත් ඉතා අසීරු කටයුත්තක් වුණා. ඒ තරම්ම අවිධිමත් විදියටයි ණය ගෙන තිබුණේ.''

''රාජපක්‍ෂ රෙජීමයේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට අපේ රට රුපියල් ට්‍රිලියන 9.5 ක ණය උගුලක හිරවෙලයි ඉන්නේ. ඒ කියන්නේ බිලියන 9500 යි. සමහර විට 10,000 ක් වෙන්නත් පුලූවන්.''

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටීමත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපා ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය.

''ලෝක තෙල් මිල පහත වැටීම නිසා සවුදි අරාබිය, ඕමානය, ජෝර්දානය සහ කුවේට් වැනි තෙල් ආදායමෙන් යැපෙන රටවල ආර්ථික තත්වය පිරිහෙමින් පවතිනවා. එහි ප්‍රතිඵලය ඒ ඒ රටවල රැකියා අවස්ථා අඩුවෙමින් පැවතීමයි.''

තෙල් මිල

''තෙල් මිල පහත වැටීම රුසියාවටද බලපානවා. ශ්‍රී ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයන් පහත වැටෙනවා පමණක් නොව, අපේ තේ වලට රුසියාවේ ඇති ඉල්ලූම දැන් කොහොමත් පහළ වැටිලයි තියෙන්නෙ.''

මේ අතර ශ්‍රී ලංකාවේ තෙල් මිල පහත දමන ලෙස ඉල්ලා සිටින ඇතැම් පිරිස් එහි ඇති අනතුරුදායක තත්වය නොදකින බවත් අගමැතිවරයා පැවසීය.

''අපි කැමතියි සම්පූර්ණයෙන්ම තෙල් මිල අඩු කරන්න පුලූවන්නම්. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. එක අතකින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 365 ක් ණයයි. ඒක ගෙවන්න එහෙනම් අපට වෙනම ටැක්ස් එකක් දාන්න වෙනවා.''

රට වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩ ඒම සඳහා රටේ සියලු දෙනා එක් විය යුතු බවයි අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර