දෙමළ සිරකරුවන්ගෙන් ආණ්ඩුකාරවරයාට දුක්ගැනවිල්ලක්

Image copyright Getty

ආහාර වර්ජනයක යෙදී සිටින දමිළ සිරකරුවන්ගෙන් යම් පිරිසකට සහනයක් සැලසෙනු ඇති බව උතුරු පළාතේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පැවසීය.

ආණ්ඩුකාරවරයා ඒ බව කියා සිටියේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත උපවාසයේ නිරත දෙමළ සිරකරුවන්ගේ තත්වය විමසා බැලීමට මැගසින් බන්ධනාගාරයට ගොස් ආපසු පැමිණෙමින් සිටින අවස්ථාවේ බීබීසී සංදේශයට අදහස් දක්වමිනුයි.

ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර කීපයක රඳවා සිටින දෙමළ සිරකරුවෝ දින ගණනාවක සිට ආහාර සහ ඖෂධ වර්ජනයක යෙදී සිටිති.

චෝදනා ඉදිරිපත් කළ හැකි සැකකරුවන්ට 09 වන බදාදා චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව කී ආණ්ඩුකාරවරයා උපවාසයේ නිරත සිරකරුවන්ගේ තත්වය ජනාධිපතිවරයාට දන්වන බවත් සඳහන් කළේය.

ඉන් අනතුරුව නීතිපතිවරයා සමග සාකච්ඡා කොට ඔවුන්ට යම් සහනයක් සැලසීමට කටයුතු සැලසෙනු ඇති බවයි ආණ්ඩුකාරවරයා කියා සිටියේ.

දින පහළොවක් තිස්සේ ආහාර වර්ජනයේ සිටින උපවාසකරුවන් ජලය පමණක් ගන්නා බවත් තමන් යනවිට ඔවුන් සිය පැදුරුවල බිම වැතිරී සිටි බවත් ආණ්ඩුකාරවරයා පැවසීය.

පොරොන්දු

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් උපවාසකරුවන් බැලීමට මැගසින් බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී උපවාසකරුවන් මන්ත්‍රීවරයාට පවසා ඇත්තේ සිය ඉල්ලීම් ඉටුවන තුරු උපවාසය අත්නොහරින බවයි.

ඔහු බන්ධනාගාරය වෙත ගොස් තිබුණේ සිරකරුවන් උපවාසය අත්හළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය විසින් පසුගිය ඉරිදා කොළඹදී ගත් කමිටු තීරණය දැනුම් දීම පිණිසයි.

පසුගිය වතාවේදී මේ අන්දමට උපවාස කළ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂනායක ආර් සම්බන්ධන් බන්ධනාගාරය වෙත පැමිණ, ජනාධිපතිවරයා වූ පොරොන්දු ඉදිරිපත් කරමින් උපවාසය අවසන් කරන මෙන් කළ ඉල්ලීමට උපවාසකරුවන් අවනත වූවත් මේ වනතුරු ඔවුන්ට කිසිවක් නොලැබුණු බව උපවාසකරුවන් මන්ත්‍රීවරයාට පවසා තිබේ.

උතුරේ පුරවැසි කමිටු විසින් අඟහරුවාදා දහවල් වවුනියාවේදී පෙළපාලියක් හා උද්ඝෝෂණයක් දියත් කොට තිබුණේද දෙමළ සිරකරුවන් නිදහස් කරන මෙන් රජයට බල කරමිනුයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර