තිලිණ ගමගේ ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

Image copyright AFP
Image caption මහේස්ත්‍රාත් තිලිණ ගමගේ භාරයේ සිටි අලි පැටවා සිය භාරයට ගත් රහස් පොලිසිය අලි පැටවා පින්නවල අලි අනාථාගාරයේ රඳවා තැබීමට කටයුතු කොට ඇත

තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයාට එරෙහිව රහස් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබුවේ බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස අලි පැටවකු ළඟ තබාගෙන සිටි බවට චෝදනා කරමින්.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා භාරයේ සිටි අලි පැටවා සිය භාරයට ගත් රහස් පොලිසිය අලි පැටවා පින්නවල අලි අනාථාගාරයේ රඳවා තැබීමට කටයුතු කොට ඇත.

පරීක්ෂණයේ පියවරක් ලෙස තමන්ව අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බව කියා සිටි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ එම අත් අඩංගුවට ගැනීම සාධාරණ නීතිමය පදනමක් නොමැතිව සිදුකිරීමට නියමිත බවටයි චෝදනා කළේ.

සිය පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත් එම විභාගය අවසන් වනතෙක් තමන් අත්අඩංගුවට ගැනීම වැළක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන්ද තිලිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා ඉල්ලා සිටියේය.

එහෙත් එම පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බවට තීන්දු කළ අධිකරණය ඒ අනුව පෙත්සම ප්‍රතික්ෂේපකරන බවයි ප්‍රකාශ කළේ.