නාමල් රාජපක්ෂට එරෙහි විමර්ශන ආරම්භ කෙරෙයි

මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු අට දෙනෙකුට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටිමින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද රුපියල් කොටි 15 කට අධික මුදලක් යොදවා ‘හෙලිකොප්’ නමැති සමාගමක් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව අදාළ පරීක්ෂණය ආරම්භ කර ඇති බවයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේ.

ඒ සමඟ පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හැර පරීක්ෂණයට භාජනය කෙරෙන සෙසු පුද්ගලයන්ගේ විදේශ ගමන් තහනම් කරන මෙන් බලධාරීන්ට නියෝග කළේය.

එමෙන්ම අදාළ සමාගමට අයත් බැංකු ගිණුම් හතරක් තහනම් කිරීමටත් අධිකරණය පියවර ගෙන ඇත.

පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මේ මස 31 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය පොලිසියට නියම කළේ.

ජනතා විමුක්ති පෙරමු‍‍ණේ හිටපු මන්ත්‍රී වසන්ත සමරසිංහ විසින් කරන ලද පැමිණිල්ලක් අනුව අදාළ පරීක්ෂණය ආරම්භ කළ බවයි පොලිසිය පවසන්නේ.