කඳුකරයේ ලක්ෂයකට වැසිකිලි පහසුකම් නැහැ-අගමැති

කඳුකරයේ ජිවත් වන ජනතාවගෙන් ලක්ෂයකට ආසන්න පිරිසකට වැසිකිළි පහසුකම් නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

වැවිලි ක්ෂේත්‍රයේ නියුතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමේ පස් අවුරුදු සැලැස්ම එළිදැක්වීමේ උත්සවයේදී අදහස් දක්වමිනුයි අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

‘කඳුකරයේ ඇති ගෙවල්වලට මේ පහසුකම් තිබෙනවාද? ලක්ෂයකට වැසිකිලි පහසුකම් නැහැ. යාපනයේ සමහර ජනතාවට ගෙයක්වත් නැහැ. දකුණේ අපේ ඇතැම් ජනතාවට සින්නක්කර අයිතිය ලබාදී නැහැ’ අගමැතිවරයා පැවසීය.

කඳුකර ජනතාවගේ සමාජ සංවර්ධනය සඳහා පස් අවුරුදු වැඩසටහන යටතේ කඳුකරයේ වැවිලි ක්ෂේත්‍රයේ නියුතු ජනතාවට ඉඩම් අයිතිය, නිවාස ඉදිකිරීම, සෞඛ්‍ය පහසුකම් සහ අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීමට කටයුතු කෙරෙන බවයි රනිල් වික්‍රමසිංහ පැවසුවේ.

Image copyright PM
Image caption අමාත්‍ය පලනි දිගම්බරම් සහ අගමැති රනිල් වික්‍රමසිංහ වැවිලි ක්ෂේත්‍රයේ නියුතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමේ පස් අවුරුදු සැලැස්ම එළිදැක්වීමේ උත්සවයේදී

පසුගිය රජය ජනතාවට අත්‍යවශ්‍ය දෑ සඳහා මුදල් වෙන් නොකර අනවශ්‍ය කටයුතු සඳහා මුදල් නාස්ති කළ බවට අගමැතිවරයා මෙහිදී චෝදනා කළේය.

‘අර ගුවන්යානා 8ක් මිලදි ගත්තේ නැති නම් ඒ මුදලින් ගෙවල් හැදුවා නම් උතුරේ ද්‍රවිඩ මිනිස්සුන්ට දකුණේ සිංහල මිනිස්සුන්ට, නැගෙනහිර මුස්ලිම් මිනිස්සුන්ට කදුකරේ ද්‍රවිඩ මිනිස්සුන්ට කොපමණ ගෙවල් සංඛ්‍යාවක් හදා දෙන්න තිබුණද ගුවන්යානා 8ක් මිළදි ගන්නට ඩොලර් මිලියන 211ක් ගියා’ අගමැතිවරයා පැවති රජයට චෝදනා කරමින් කරුණු දැක්වීය.

පසුගිය ආණ්ඩුව විසින් ලබා ගත් හෙළි නොකළ විශාල ණය මුදල පිළිබඳව තමන් පසුගියදා හෙළිදරව් කළ බව පැවසූ අගමැතිවරයා එම ණය ගෙවීම සඳහා විශාල වියදමක් රජයට දැරීමට සිදුවුවත් මෙවන් වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි සඳහන් කළේ.

රටේ ආර්ථික සංවර්ධනයට උදව් කළ වැවිලි කර්මාන්තයේ නියුතු ජනතාවගේ සියළු අයිතීන් ලබාදීමට රජය කටයුතු කරන බවට අගමැතිවරයා මෙහිදී ප්‍රතිඥාවක් ලබා දුන්නේය.