'ජාත්‍යන්තර නිරීක්ෂණ සහිත පරීක්ෂණයක්' ෆොන්සේකා

ජාත්‍යන්තර නිරීක්ෂකයන් සහ උපදේශකයන් සහිතව ජිනීවා පරීක්ෂණ ශ්‍රී ලංකාවේ පැවැත්විය යුතු බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ෆීල්ඩ් මාර්ෂල්වරයා මේ බව කියා සිටියේ වත්මන් පාර්ලිමේන්තුවට පත් වීමෙන් පසු සිය මංගල කතාව පවත්වමිනි.

ජිනීවා පරීක්ෂණයෙන් රටේ ඒකීයත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය බිඳ වැටීමක් වන බවට පවතින අදහස් ප්‍රතික්ෂේප කරමින් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියා සිටින්නේ එවකට යුද්ධය මෙහෙයවූ හමුදාපති ලෙස තමන් මෙම පරීක්ෂණ පැවැත්වීමට සම්පූර්ණයෙන්ම එකඟ බවයි.

ශ්‍රී ලංකාව නැවතත් ලෝකයේ විශ්වාසය දිනා ගැනීමට නම් එම ජිනීවා පරීක්ෂණ විනිවිද භාවයෙන් යුතුව පැවැත්වීම සඳහා විදෙස් විශේෂඥයන්ගේ සහ නිරීක්ෂකයන්ගේ සහය ලබාගත යුතු බවයි ඔහු පවසන්නේ.

Image copyright Getty

තමන් මානුෂීය අයිතිවාසිකම්, ජිනීවා සම්මුති උල්ලංඝනය නොකර සියලු නීති රීති වලට අනුකූලව යුද්ධය මෙහෙයවීම කළ බව පවසන අමාත්‍ය සරත් ෆොන්සේකා පවසන්නේ එම නීති රීති කඩ කළ අතලොස්සක් සිටියි නම් ඔවුන් සොයා දඬුවම් පැමිණිය යුතු බවයි.

යුද්ධයේ නීති රීති කඩ කරමින් හැසිරුණු මේ අතලොස්ස හේතුවෙන් මුළු යුද හමුදාවටම වී ඇති අගෞරවයෙන් මිදීමට නම් ජාත්‍යන්තර පරීක්ෂණයකට නොබියව මුහුණ දී වැරදි කරුවන්ට දඬුවම් ලබා දිය යුතුව පවතින බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.

ඔහු සිය කතාව අතරවාරයේ යුද්ධයේ අවසන් අදියර ගැන විස්තර කරමින් සුදු කොඩි සිද්ධියට අදාළ චෝදනා පිළිබඳ සත්‍ය තොරතුරු ලෝකයා මෙන්ම ශ්‍රී ලාංකීය ජනතාවත් දැනුවත් විය යුතු බවයි ස්වාධීන ජිනීවා පරීක්ෂණ කෙරෙහි සිය ස්ථාවරය පහදමින් ඔහු කියා සිටියේ.