ෆොන්සේකා ගේ චෝදනාවලට බැසිල් ගෙන් පිළිතුරු

Image copyright AFP
Image caption එල්ටීටීඊයට මුදල් ලබාදුන් බවට එල්ලවන චෝදනාව හිටපු අමාත්‍යවරයා විග්‍රහ කරන්නේ දේශපාලන දඩයමක කොටසක් ලෙසින්

2005 ජනපතිවරණය ජය ගැනීම සඳහා එල්ටීටීඊ සංවිධානයට මුදල් ලබා දුන් බවක් තමන් කිසි විටක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට නොකී බව හිටපු ආර්ථික අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

බ්‍රහස්පතින්දා (10) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රාදේශීය සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය සරත් ෆොන්සේකා එල්ල කළ චෝදනාවලට පිළිතුරු දෙමින් ඒ බව සඳහන් කළ හිටපු අමාත්‍යවරයා, එම චෝදනාව විග්‍රහ කරන්නේ 'දේශපාලන දඩයමක්' ලෙසින්.

"ඒක සම්පූර්ණ අසත්‍යයක්. එහෙම සිද්ධියක් වුනෙත් නැහැ ඒ වගේම ඔහු එක්ක මම එහෙම සාකච්ඡාවක් කළෙත් නැහැ," බැසිල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

Image copyright Getty
Image caption යුද්ධයෙන් අනතුරුව අත්පත් කරගන්නා ලද රත්රන්වලින් කොටසක් උතුරේ ජනතාව වත බෙදා දී නැති බවත් ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා පවසයි

"මේක මේ එතුමාගේ අදහසක් උඩම කෙරිච්ච දෙයක් නෙවෙයි. අපේ නීතිඥ මහත්වරුන්ගේ අදහස යම්කිසි දීර්ඝකාලීන ඉලක්කයක් බලාගෙන කරන දේශපාලන දඩයමක කටයුත්තක් කියල," යනුවෙන්ද බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට ඉහතදී බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් එම චෝදනාව හැඳින්වූයේ 'අමූලික බොරුවක්' ලෙසින්.

යුද්ධයෙන් අනතුරුව එල්ටීටීඊ සංවිධානයේ බැංකුවල තිබී සහ වෙනත් අයුරින් අත්පත් කරගන්නා ලද රත්රන් යළි උතුරු නැගෙනහිර ජනතාවට බෙදා දුන් අවස්ථාවේ එයින් කොටසක් අතුරුදහන් වී ඇති බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා මෙවර පාර්ලිමේන්තුවට පත් වීමෙන් අනතුරුව පැවැත්වූ සිය මංගල දේශණයේදී එල්ල කළ තවත් චෝදනාවක්.

එම රත්රන් යළි බෙදා දීමට තමන්ගේ සම්බන්ධයක් නොතිබූ බැවින් ඒ පිළිබඳව වැඩි විස්තර තමන් නොදන්නා බවයි හිටපු ආර්ථික සංවර්ධන කටයුතු භාර අමාත්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

පැවති රාජපක්ෂ රජයේ අමාත්‍යවරයකු වශයෙන් සාමූහික වගකීම යටතේ එම චෝදනාව තමන් ප්‍රතික්ෂේප කරන නමුත් එසේ අත්පත් කරගන්නා ලද භාණ්ඩ යළි බෙදා දීම සම්බන්ධ නීතිමය පසුබිම තමන් නොදන්නා බවත් ඔහු සඳහන් කළේය.

"ත්‍රස්තවාදීන් සතුව තිබිලා හම්බ වෙච්ච බඩු නැවත ත්‍රස්තවාදීන්ට අයිතිද කියන එක මම හරියට දන්නේ නෑ නීතියෙන් කොහොමද කියල."

එසේ රත්රන් බෙදාදීම සම්බන්ධයෙන් අවශ්‍ය නම් කිසියම් පරීක්ෂණයක් පැවැත්වීමේ කිසිදු වරදක් තමන් නොදකින බවත් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර