දෙමළ සිරකරුවෝ ආහාර වර්ජනය අත්හරිති

Image caption දෙමළ සිරකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලමින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිගටම උද්ඝෝෂණ පැවැත්විණි

අත්අඩංගුවේ පසුවන එල්ටීටීඊ සැකකරුවන්ට එරෙහිව නියත වශයෙන්ම නඩු පවරන බවට නීතිපතිවරයා කළ දැනුම් දීමෙන් අනතුරුව ආහාර වර්ජනය අත්හැර දැමීමට ඔවුන් තීරණය කර තිබේ.

උපවාසයේ නිරත එම සැකකරුවන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව සිකුරාදා අධිකරණය දැනුවත් කරන මෙන් මීට ඉහතදී කොළඹ මහේස්ත්‍රාත්වරිය නීතිපතිවරයාට දැනුම් දී තිබිණ.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනීසිටි රජයේ නීතිවේදියා මෙම සැකකරුවන්ට එරෙහිව පවතින චෝදනා බරපතල බැවින් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව දැනුම් දුන්නේය.

නීතිපතිවරයාගේ එම පොරොන්දුවෙන් අනතුරුව ආහාර වර්ජන තීරණය අත් හිටුවීමට අදාළ සැකකරුවන් තීරණය කළ බවයි, ඔවුන්ගේ නීතිවේදී වීඑස් නිරන්ජන් ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.

අනතුරුව සැකකරුවන් ලබන 23 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කෙරිණ.