'අභයභූමි මැදිනුත් ඡන්ද කොට්ඨාශ'

Image copyright President Media

පළාත් පාලන මැතිවරණ කැඳවීමට නොහැකි වීමට හේතුව දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ගැටුමක් නොව සීමා නිර්ණය කිරීම අතින් පවතින ගැටළු නිසා බව පළාත් සභා සහ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා පවසයි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ‘පලාත් පාලන මැතිවරණ කල් තැබීමේ රහස ඇතැම් දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ගැටුම් බවට’ අද (11) පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයකට පිළිතුරු සපයිමිනි.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සිය අදහස් පළ කළේ නියමිත වේලාවට මැතිවරණ නොපවත්වා පලාත් පාලන ආයතන වල කාලය දීර්ඝ කරනු ලැබීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුව තුල සිදු වූ උණුසුම් විවාදයේ දී අදහස් දක්වමිනි.

පනතේ වෙනසක්

සීමා නිර්ණය කිරීමට අදාළ නව පළාත් පාලන පනත සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මාර්තු තිස් වෙනි දිනට පෙර ඡන්දයකට යන්නේ නම් පනත වෙනස් කළ යුතුව ඇති බවයි කියා සිටියේ.

දැනට ඉදිරිපත් කොට ඇති පළාත් පාලන සීමා නිර්ණය යෝජනා දෝෂ දර්ශනයට ලක් කළ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු නියෝජනය සහ පළාත් පාලන ආයතනවල නියෝජන රටාවන් සමරූපී මට්ටමින් ව්‍යවස්ථාගත කළ යුතුව ඇති බවයි කියා සිටියේ.

පළාත් පාලන මැතිවරණ කල් තබනු තැබීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන අදහස් බැහැර කරමින් පළාත් සභා සහ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා කියා සිටියේ ‘පසුගිය රජය සමයේ සිදු කෙරුණ වැරදි සීමා නිර්ණය කිරීම් නිවැරදි කර ගැනීම සඳහා තමාට කාලය අවශ්‍ය කරන’ බවයි.

අභියාචනා කමිටුවක්

අදාළ කාරනා සම්බන්ධයෙන් දැනට අභියාචනා කමිටුවක් පත් කරනු ලැබ ඇති හෙයින් නීතිය අනුව මේ මොහොතේ ඡන්දයකට යාමට නොහැකි බවයි ඇමතිවරයා පවසන්නේ.

සීමා නිර්ණය සම්බන්ධයෙන් එවැනි අභියාචනා කමිටුවක් පත් කිරීමට විෂය භාර ඇමතිවරයාට බලය ඇති බව පෙන්වා දුන් ෆයිසර් මුස්තාෆා ඇමතිවරයා පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට පියවර ගත හැක්කේ එම කමිටුවේ කටයුතු නිම වීමෙන් අනතුරුව වන බවත් අවධාරණයෙන් කියා සිටියේය.

පළාත් පාලන ආයතන හයදහසකින් දෙදාහක පමණ සීමා නිර්ණය කිරීමේ දී අඩුපාඩු සිදු කර ඇති බව පෙන්වා දුන් ඇමතිවරයා ඇතැම් ප්‍රදේශ වල අභය භූමි මැදින් පවා කොට්ඨාශ වෙන් කරනු ලැබ ඇති බවත් ඒවා නිවැරදි කිරීමට කාලය අවශ්‍ය කරන බවත් කියා සිටියේය.

ශීතල කාමර වල යෝජනා

විවාදයට එක් වූ අගමැති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ පලාත් පාලන ආයතන වෙන් කිරීමේ දී එක්සත් ජාතික පක්ෂය බලයේ සිටින කොළඹ මහ නගර සභාව වැනි පළාත් පාලන ආයතන වල කොට්ඨාශ වෙන් කිරීමේ දී කලින් බලයේ සිටි ආණ්ඩුව ඉතා අවිධිමත් ලෙස කටයුතු කරමින් ව්‍යාකූල තත්වයක් නිර්මාණය කර තිබෙන බවයි.

පළාත් පාලන ආයතන කීපයක් නිදසුන් වශයෙන් ගනිමින් එම ප්‍රදේශයන්හි වෙසෙන ජන සංඛ්‍යාව සහ නියෝජිත සංඛ්‍යාවන් අතර පවතින අසමතුලිත භාවය දීර්ඝ වශයෙන් විස්තර කළ අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය රජය සමයේ ශීතල කාමරවල සිටි නිලධාරීන් විසින් සකස් කරන ලද එම ව්‍යාකූල සැලසුම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතුව ඇති බව අවධාරණය කළේය.

ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණිව

පළාත් පාලන ඡන්ද විමසීම් නිසි කලට නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි බවයි විවාදයට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ.

තව දුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රශ්න නොමැති තැන්වල හෝ පළාත් පාලන මැතිවරණ කැඳවන ලෙස ඉල්ලා සිටියේය.