ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වැට් බද්දට එරෙහිව විරෝධතා රැල්ලක්

වැට් බද්ද ඉහළ දැමීමට ආණ්ඩුව ගත් තීන්දුවට සිය විරෝධය පළ කරන බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ සහ පුරවැසි සංවිධාන එකමුතුව කියා සිටිති.

වැට් බද්ද ඉහළ දමන අතරවාරයේ 'අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවා කීපයක් වැට් බද්දෙන් නිදහස් කරන බවයි' අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ.

'ආණ්ඩුව මොන වගේ අත්‍යවශ්‍ය භාණ්ඩද බද්දෙන් නිදහස් කරන්නේ කියන කාරණය ගැසට් කොට ලේඛනගත කරලා ප්‍රකාශයට පත් කළ යුතුයි' වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකදී සඳහන් කළේය.

ගෝචර නොවන බද්දක්

මහජනතාව වෙත බදු පනවනවා වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ වංචා කළ මහජන මුදල් නැවත අය කර ගැනීමට කටයුතු කිරීම බවයි සමන් රත්නප්‍රිය පෙන්වා දෙන්නේ.

'දූෂණ හා සම්බන්ධ පරීක්ෂණ වහා සිදු කොට ඒවා නැවත අධිභාරයන් සමග අය කර ගැනීමට කටයුතු කළ යුතු බව අපේ හැඟීමයි.ජනතා හැඟීමත් ඒකයි. නමුත් ඒකේ ප්‍රමාදයක් තිබෙනවා. එසේ තිබියදී වැට් බදු වැඩි කිරීම ජනතාවගේ පැත්තෙන් ගෝචර නැහැ.' ඔහු අවධාරණය කරයි.

භාණ්ඩ හා සේවා කීපයක් වැට් බද්දෙන් නිදහස් කිරීම යම් සහනයක් වුනත් අනෙකුත් සියලුම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන බවයි වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පෙන්වා දෙන්නේ.

'සියලුම ද්‍රව්‍යවල සහ සේවාවල මිල ඉහළ යනවා - මේ වැට් බදු ඉහළ දැමීම හරහා. ඒක ආණ්ඩුව නොකළ යුතු දෙයක් විදිහටයි අප දකින්නේ' ඔහු පවසයි.

ප්‍රාග්ධන බද්ද

ඒ අතරම ප්‍රාග්ධන බද්ද වැඩි කිරීමට ගත් තීන්දුව යහපත් පියවරක් හැටියටයි, සමන් රත්නප්‍රිය විග්‍රහ කරන්නේ.

රාජපක්ෂ පාලනයේ පැවති අක්‍රමිකතා හේතුවෙන් රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය මත බදු ඉහළ දැමීමට සිදු වී ඇති බවට ආණ්ඩුව කරන ප්‍රකාශය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය අනුමත කළේය.

'පැවති ආණ්ඩුව පසුගිය දස වසරක කාලය තුළ මේ රටේ බරපතළ ආර්ථික විනාශයක් කළා.මහජන මුදල් මංකොල්ල කෑවා. දූෂණ වංචා සිදු කළා. ඒ තුළ විශාල ආර්ථික හානියක් මේ රටට වෙලා තිබෙනවා. ඒක හදන්න වෙලා තියෙන්නේ වර්තමාන ආණ්ඩුවට සහ විධායකයට.' ඔහු පවසයි.

ආණ්ඩුවට සන්දේශයක්

වැට් බඩු ඉහළ දැමීමට විරෝධය පළ කොට ජාතික වෘත්තීය සමිති පෙරමුණ සහ පුරවැසි සංවිධාන එකමුතුව එක්ව ලිඛිත සන්දේශයක් ආණ්ඩුවට බාර දෙන බවත් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය වැඩිදුරටත් කියා සිටියේය.