HIV ගැන ඔබ මේ කරුණු දැන සිටියාද?

Image copyright Getty

අනියත එච්අයිවී භීතියක් නිසා කුලියාපිටියේ දරුවකුට පාසලක් අහිමි වීම ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර මට්ටමින් ද සාකච්ඡාවට භාජනය වූ කරුණකි.

එම සිද්ධියත් සමග 'එඩ්ස්', එච්අයිවී සහ එහි පැතිර යාම පිළිබඳ ඇතැම් ශ්‍රී ලාංකිකයන්ට නිසි අවබෝධයක් නොමැති බවට ඇතැමෙක් තර්ක කළහ.

එක්සත් ජාතීන්ගේ එඩ්ස් මර්දන ව්‍යාපෘතිය ඒඩ්ස් මර්දනයට දායකත්වය සපයන ප්‍රමුඛ සංවිධානයක්.

එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් මර්ධන ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ කළමනාකරු වෛද්‍ය දයානාත් රණතුංග සමඟ වර්තමානයේ පවතින තත්වය පිළිබඳව සංදේශය කළ සාකච්ඡාවක දී ඒඩ්ස් රෝගය හා සම්බන්ධ කරුණු පිළිබඳ ඔහු ලබා දුන් පිළිතුරුයි මේ.

ප්‍රශ්ණය : එච්අයිවී වෛරසය කෙනෙකුගෙන් තවත් අයෙකුට බෝ විය හැකි ක්‍රම මොනවාද?

පිළිතුර:

කෙනෙකුගේ ශරීරරයේ එච්අයිවී වෛරසය තවත් අයෙකුට බෝවන ආකාරයෙන් තියෙන්න පුළුවන් තරල වර්ග හතරක විතරයි. එයින් පලවෙනි එක තමයි රුධිරය. රුධිරයේ තමයි වැඩිම සාන්ද්‍රණයක් තියෙන්නෙ. දෙවෙනි සහ තුන් වෙනි වර්ග වෙන්නෙ යෝනි මාර්ග ශ්‍රාවය සහ ශුක්‍රානු. අවසාන වර්ගය තමයි මව් කිරි.

උදාහරණයක් විදියට කියනව නම් දහදිය, කෙළ, මුත්‍රා, කඳුළු හෝ වෙන කිසිම ශ්ලේෂ්මල වර්ගයක එච්අයිවී වෛරසය බෝවීමේ හැකියාවක් නැහැ.

ප්‍රශ්ණය :

දැන් ඔබ සඳහන් කළා රුධිරය පිළිබඳව. කිසිවෙකු රුධිරය ස්පර්ශ කළ පමණින් එච්අයිවී ආසාදනය වන්න පුලුවන්ද?

පිළිතුර:

කොහෙත්ම බැහැ. මේ එච්අයිවී වෛරසය කියන එක ශරීරයට ඇතුල්විය හැක්කේ ශ්ලේෂ්මල පටලයක් හරහා පමණයි. අපි හිතමු තුවාලයක් වෙලා ඉන්න කෙනෙක් ගේ රුධිරය යම් හේතුවක් නිසා මගේ අතේ ගෑවුණා කියල. එත් මගෙ අතේ කැපුමක් නැතිනම් එච්අයිවී වෛරසය මට ඇතුල්වෙන්න හැකියාවක් නැහැ. අපි දන්නවා සමහර වෛද්‍යවරු එච්අයිවී වෛරසය සහිත පුද්ගලයන්ගේ ශල්‍යකර්ම සිද්ධ කරනව. අපි හිතමුකො එච්අයිවී සහිත දරුවෙක් පාසලක ඉන්නව කියල. ඒ දරුවා හදිසි අනතුරක් හරි වෙලා යම් විදියකින් රුධිර වාහනයක් වුනත් තව කෙනෙකුට ඒක බෝවීමේ හැකියාවක් නැහැ.

ප්‍රශ්ණය :

ඒ කියන්නෙ කිසියම් දරුවෙක් එච්අයිවී අසාදිත දෙමව්පියන් සමග ජීවත් වීම මගින් ඒ දරුවාට එච්අයිවී වෛරසය බෝවීමේ අවදානමක් නැහැ කියන එකද?

පිළිතුර:

මම හිතන්නෙ එච්අයිවී බෝවීමේ තර්ජනයට වඩා ඒක යම්කිසි ආශීර්වාදයක් විදියටයි මම දකින්නෙ. අපි දන්නව ඕන තරම් එච්අයිවී සමග ජීවත්වන දරුවො ඉන්න පුද්ගලයන්. ඒ දරුවන්ගෙ එච්අයිවී තත්වයක් නැහැ. ඒ කියන්නෙ වෛරසය ශරීර ගතවෙලා නැහැ.ඒ දරුවො ඒ දෙමව්පියන් එක්ක බොහොම සන්තෝසයෙන් කල් ගත කරනව. අපි කියන්නෙ එකට ඉඳ ගැනීම, එකට නිදා ගැනීම, සිප වැළඳ ගැනීම, එකට අහාර ගැනීම හෝ තුවාය වැනි දේ එකට පාවිච්චි කිරීම, හෝ වැසිකිලිය වැනි දේ එකට පාවිච්චි කිරීම වැනි කිසිදු සාමාන්‍ය සමාජීය සම්බන්ධතාවකින් එච්අයිවී තව කෙනෙකුට බෝවෙන්නේ නැහැ.

ප්‍රශ්ණය:

ඔබ කියන දෙවැනි ක්‍රමය තමයි යෝනි ශ්‍රාවය සහ ශුක්‍රාණු මගින් එච්අයිවී ආසාදනය වීම. මේ ආකාරයට එච්අයිවී ආසාදනය වීමට ඇති එකම ක්‍රමය ලිංගික එක්වීමක් නේද?

පිළිතුර:

ශුක්‍රාණු සහ යෝනි මාර්ග ශ්‍රාවයන් හුවමාරු විය හැක්කේ ලිංගික සම්බන්ධතාවයක දී පමණයි. තවදුරටත් කියනවා නම් ලිංගික සංසර්ගයක දී පමණයි. යෝනි මාර්ගයකට, ගුද මාර්ගයකට, මුඛයට ශිශ්නයක් ඇතුළු කිරීම වැනි ලිංගික ක්‍රියාවලියකින් මෙහා කෙනෙකුට එච්අයිවී බෝවීමේ කිසිම අවදානමක් නැහැ.

ප්‍රශ්ණය:

මව් කිරි වලින් එච්.අයි.වී වෛරසය බෝවීමේ සම්භාවිතාවය කෙබඳු ද?

පිළිතුර:

ඇත්තටම මව් කිරි වලින් පමණක් කෙනෙකුට එච්අයිවී බෝවීමේ සම්භාවිතාවය 5% කටත් වඩා අඩු මට්ටමක තියෙන්නෙ. සමහර අවස්ථාවලදී 1% ටත් වඩා අඩුයි. හැබැයි ඒක තීරණය වෙනව ඒ ඒ පුද්ගලයන් ජීවත්වෙන පරිසරවල තියන සනීපාරක්ෂක තත්වය සහ ඒ දරුවන්ගෙ ප්‍රතිශක්තිකරණ මට්ටම අනුව. නමුත් එකේ සුළු අවදානමක් තියනව.

ප්‍රශ්ණය:

යමෙක් එච්අයිවී අසාදිතයෙක් බව ලොවට හඬගා කීම කොයිතරම් දුරට සදාචාර සම්පන්න ද?

පිළිතුර:

අපි ආයතනයක් විදියට ඉන්නෙ එවැනි දෙයක් සිදු නොවිය යුතුයි කියන ස්ථාවරයේ. මිනිස් අයිතිවාසිකම් කෙසේ වෙතත් ඒක හොඳ මානුෂික ගුණාංගයක් නෙවෙයි. නමුත් සමහර අවස්ථාවල දී එච්අයිවී වලට තියන භීතිය හෝ එවැනි බාහිර කරුණු මත ඇතැමුන් එහෙම ක්‍රියා කළත් එය අනුමත කළ හැකි දෙයක් නොවෙයි.

ප්‍රශ්ණය:

කුලියාපිටියේ මව පිළිබඳව අධ්‍යාපන ඇමතිවරයා එවැනි ප්‍රකාශයක් කළා. විශේෂයෙන්ම අධ්‍යාපන ඇමතිවරයා එවැනි ප්‍රකාශයක් කිරීම ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර:

කැබිනට් ඇමතිවරයෙක් වැනි වගකිවයුතු තනතුරක් දරන පුද්ගලයෙකුට විශේෂයෙන්ම එක් එක් විෂය සඳහා නිපුණතාවයක් ඇති උපදේශකයන් සිටිය යුතුයි. නමුත් සිදුවුණු දේ කණගාටුදායකයි. මොකද ශ්‍රී ලංකාව තුළ අපි සෑහෙන වෙහෙසක් ගනිමින් ඉන්නව එච්අයිවී සම්බන්ධයෙන් සිදුවන කොන් කිරීම් සහ වෙනස්කම් කිරීම අවම කරන්න. අපිට මතකයි දැනට අවුරුදු දහයකට පහළොවකට කලින් ඒ අදාල පුද්ගලයන්ගේ ගෙවල් ගිනි තැබීම වැනි දේ සිදුවුණා. නමුත් පසුගිය දශක ඒක හමාරක පමණ කාලය තුළ එවැනි දේ වාර්තා වෙලා නැහැ. සමාජය තුළ ධනාත්මක ප්‍රතිචාරයක් තියනව.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර