අලුත් පක්ෂයක් ගැන බැසිල්

Image copyright Getty
Image caption "නෑ, නෑ. මම නෙවෙයි. ස්ථිරවම මම නෙවෙයි. මම ඉතාම සුළු කාර්යභාරයක් තමයි කරන්නේ,"

ශ්‍රී ලංකාවේ දැනට වෙන වෙනම ක්‍රියාත්මක වන විපක්‍ෂ දේශපාලන ධාරාවන්ගේ 'ඒකාබද්ධ වැඩපිළිවෙලක්' සකස් කිරීම 'ඒකාබද්ධ විපක්ෂයේ' නායකයන්ගේ උත්සාහය බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

එහි අදහස අනිවාර්යයෙන්ම වෙනත් දේශපාලන පක්ෂයක් පිහිටුවන බව දැයි බීබීසී සංදේශය කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, "නෑ. දේශපාලන පක්ෂයකට වඩා ඒ සංවිධාන සියල්ල එක අරමුණක් කරා ගමන්කරන බවක් පෙනෙන නිසා ඒවා එක ස්ථානයකට ගමන් කිරීමට කටයුතු කළයුතුයි කියල සාකච්ඡා වුනා," බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායකවරයා ඒ බව සඳහන් කළේ, අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සැරසෙන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

පක්ෂවලින් මන්ත්‍රීවරුන් පන්නා දැමුවහොත් ඔවුන් වෙනත් පක්ෂයක් පිහිටුවීමට ඉඩ තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කර තිබුණි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රබල විපක්‍ෂයක් තිබිය යුතු නමුත් වර්තමානයේ එවැනි තත්වයක් නැති බැවින් නව පක්ෂයක් නිර්මාණය කිරීමේදී ශ්‍රීලනිපය දෙකඩ වූවත් කළ හැකි දෙයක් නොමැති බවයි, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මීට ඉහතදී බීබීසී සංදේශයට කියා සිටියේ.

ගෝඨාභය රාජපක්ෂ

එසේ නම් නව පක්ෂයක් වෙනුවට දැන් 'වැඩපිළිවෙලක්' පිළිබඳව සඳහන් කරන්නේ නව පක්ෂයක් පිහිටුවීමේ හැකියාවක් නොමැති නිසාදැයි විමසූ අවස්ථාවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළේ නව පක්ෂයක් බිහිවීමට පෙර තවත් බොහෝ දේ ඉටුවිය යුතුව තිබෙන බවයි.

ඔහුත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂත් නව පක්ෂයේ නායකත්වයට පත්වීමට දරන උත්සාහයට වාසුදේව නානායක්කාර සහ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ කරන බව මේ අතර රාවය පුවත්පත වාර්තා කර තිබුණි.

එහෙත් එම වාර්තාව සම්පූර්ණ අසත්‍යයක් බවද ශ්‍රීලනිපයේ හිටපු ප්‍රධාන සංවිධායකවරයා සංදේශයට පැවසීය.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් නොදන්නා නමුත්, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා තමන් සමඟ මීට දින කිහිපයකට ඉහතදී පවා නව වැඩපිළිවෙල සම්බන්ධ සාකච්ඡාවකට සහභාගි වූ බවත් ඔහු පැවසීය.

එහි නායකයා ඔහු දැයි විමසූ විට: "නෑ, නෑ. මම නෙවෙයි. ස්ථිරවම මම නෙවෙයි. මම ඉතාම සුළු කාර්යභාරයක් තමයි කරන්නේ," යන්නයි ඔහුගේ ප්‍රතිචාරය වූයේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර