දෙහිවල බෝම්බයේ තවත් සැකකරුවන්ට සිරදඬුවම්

Image copyright LAKRUWAN WANNIARACHCHIAFPGetty Image
Image caption 2008 මැයි මාසයේ දෙහිවල ප්‍රදේශයේදී දුම්රියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයක්

1996 වසරේ දෙහිවල දී දුම්රියක බෝම්බ පිපිරීමේ චෝදනාවට අදාලව විසි වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වූ විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය දෙවසරක බරපතල සිර දඬුවම් නියම කළේය.

අදාළ සිර දඬුවම ගෙවී යාමෙන් අනතුරුව වසරක පුනරුත්තාපන ක්‍රියාවලියක නිරත විය යුතු බවටද අධිකරණය විත්තිකරුවන්ට නියෝග කළේය.

අදාළ චෝදනාවට වරද පිළිගත් එල්ටීටීඊ සැකකරුවන් තිදෙනකුට මීට වසර දෙකකට ඉහතදී සිර දඬුවම් නියම කෙරිණ.

'වරද පිලිගන්නවා'

2013 ජුනි මාසයේදී සවරිමුත්තු ලෝගනාදන් සහ ඇන්තනි රොබට් මැක්සීලන් විත්තිකරුවන් දෙදෙනාට බරපතල වැඩ සහිත වසර දහයක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය, සිත්තිරසේනම් තිරුමගල් විත්තිකාරියට බරපතල වැඩ සහිත වසර පහක සිරදඬුවමක්ද නියම කළේය.

කෙසේ නමුත් සින්නප්පු සෙල්වරාසා සහ සුප්පයියා ශ්‍රීදරන් යන විත්තිකරුවන් දෙදෙනා ඒ අවස්ථාවේ වරද පිළිනොගත් බැවින් ඔවුන්ට එරෙහි නඩු විභාගය දිගටම පවත්වාගෙන යාමට අධිකරණය තීන්දු කළේය.

ඔවුන් දෙදෙනාත් අදාළ චෝදනා පිළිගන්නා බව සඳුදා අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි, වසර දෙකක සිරදඬුවම් නියම කිරීමට අධිකරණය තීන්දු කළේ.

1996 ජූලි 24 වැනි දින දෙහිවල දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක බෝම්බයක් පුපුරුවා හැරීමෙන් එහි සිටි මගීන් 66 දෙනකු මියගොස් තවත් 400 කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව නඩු වාර්තාවේ සඳහන් වේ.

මෙය බරපතල චෝදනාවක් බව සඳහන් කළ විනිසුරුවරිය, කෙසේ වෙතත් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන්ට අධිකරණය දැනටමත් දඬුවම් ලබාදී ඇති නිසාත් මෙම විත්තිකරුවන් වසර විස්සකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින නිසාත් එවැනි ලිහිල් දඬුවමක් නියම කරන බව සඳහන් කළාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර