විදුලිය බිඳ වැටීම: 'සමාව දිය නොහැකියි'

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සති දෙකක් ඇතුලත දෙවැනි වතාවටත් ශ්‍රී ලංකාව පුරාම විදුලිය බිඳ වැටීමෙන් අනතුරුව මුහුණ පෑමට සිදු වූ දුෂ්කරතාවයන් පිළිබඳව ආණ්ඩුව වෙනුවෙන් කණගාටුව පළ කරන බව පවසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මෙවැනි සිදුවීම් පිළිබඳව 'තවදුරටත් සමාව දිය නොහැකි' බවත් සඳහන් කරයි.

අගමැතිවරයා ඒ බව සඳහන් කරන්නේ විදුලි බලය බිඳ වැටීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

"කෙටි කාලයක් තුළ මේ අයුරින් විදුලිය බිඳ වැටුණු තුන්වෙනි අවස්ථාව මෙයය. එය ඉතා බරපතල තත්ත්වයකි," බවයි අගමැතිවරයා පවසන්නේ.

Image copyright Getty
Image caption 'කෙටි කාලයක් තුළ මේ අයුරින් විදුලිය බිඳ වැටුණු තුන්වෙනි අවස්ථාව මෙයය. එය ඉතා බරපතල තත්ත්වයකි'

තත්වය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන් සහ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කොට උපදෙස් ලබා දුන් බව පවසන අගමැතිවරයා, තත්වය පිළිබඳව කඩිනම් පියවර ගැනීමට ඉන් අනතුරුව පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය කෙරුණු බවත් පවසයි.

රටේ ප්‍රධාන විදුලි මධ්‍යස්තානවලට හමුදා ආරක්ෂාව ලබා දෙන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කළ බවයි, විදුලිබල සහ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊට පෙරාතුව මාධ්‍ය අමතමින් කියා සිටියේ.

විදුලිය බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සැකයක්ද පවතින බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ඉරිදා බීබීසී සංදේශයට පැවසීය.

Image caption 'මෙවැනි සිදුවීම් සඳහා තවදුරටත් සමාව දිය නොහැකිය'

මෙවැනි තත්ත්වයක් යළිත් මතු නොවීම පිණිස අවශ්‍ය පියවර ගැනීම ආණ්ඩුවේ වගකීම බව පිළිගන්නා අගමැතිවරයා, විදුලිය බිඳවැටීමට හේතු වූ කරුණු සොයා බලා, දීර්ඝ කාලීන පියවර ගැනීම ද අනිවාර්යයෙන්ම සිදු විය යුතු බවත් සිය නිවේදනයේ සඳහන් කරයි.

'ඉල්ලා අස්වෙන්න'

"විදුලි බිඳවැටීම් සඳහා වගකිව යුතු පාර්ශවයන් හෝ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමේ පරීක්‍ෂණ දැනටමත් ආරම්භ කර ඇති බව ද මෙහිලා සිහිපත් කරමු," යනුවෙන්ද නිවේදනයේ සඳහන්.

එමෙන්ම ජනතාවට අඛණ්ඩ විදුලිබල සේවාවක් ලබා දීමට අවශ්‍ය කෙටි කාලීන හා මධ්‍ය කාලීන විසඳුම් සෙවීමට 'ප්‍රමුඛත්වය ලබා දෙන' බවත් අගමැතිවරයා පවසයි.

කෙසේ නමුත් විදුලිය බිඳ වැටීමේ වගකීම භාරගෙන අමාත්‍යවරයා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවයි, ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ.

Image caption අමාත්‍යවරයා ඉල්ලා අස් විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසයි

යුද ගැටුම් පැවති සමයේදී පවා මෙතරම් දීර්ඝ කාලයක් විදුලිය බිඳ නොවැටුණු බව කොළඹදී මාධ්‍ය ඇමතූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර