මන්ත්‍රී නව දීමනාවලට ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය

Image copyright gosl

පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනා වැඩි කිරීමට ගෙන ඇති තීරණයට එකඟ නොවන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

පාර්ලිමේන්තු කමිටු නිර්දේශයක් අනුව මන්ත්‍රීවරයකුට දුරකතන පහසුකම් සිය ඡන්ද කොට්ඨාශයේ කාර්යාලයක් පවත්වා ගෙන යාමට සහ කොළඹ නිවසක් සඳහා එකතුව ගත් විට රුපියල් 150000 ක පමණ අමතර දීමනාවක් සැපයීමට තීන්දු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉහත කී මුදලට අතිරේකව පාර්ලිමේන්තු සැසි වාර වලට සහභාගී වීම, පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දිනයන්හි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අසුන් ගැනීම සහ වෙනත් අධීක්ෂණ කමිටු රැස්වීම් වලට සහභාගී වීම වෙනුවෙන් ද ඔවුන්ට දෛනික දීමනාවක් සපයනු ලබයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුපට එක් කෙරෙන රුපියල් ලක්‍ෂ දෙකක් පමණ වන එම අමතර දීමනා ගෙවීම් වලට විරුද්ධ වීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවක දී කියා සිටියේ.

නිවාස කමිටුව

‘පාර්ලිමේන්තුවේ නිවාස කමිටුවක් තිබෙනවා. එම කමිටුවේ ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් පමණක් රැස් වී එවැනි තීන්දුවක් ගෙන තිබෙනවා. කැබිනට් මණ්ඩලයත් එය අනුමත කර ඇති බව ආරංචියි’ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මේ කාරණය කතානායකවරයා සමඟ සාකච්ඡා කළ බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ‘පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීමෙන් තොරව එවැනි තීන්දුවක් ගනු ලැබීම පිළිබඳව එහිදී ප්‍රශ්න කළ බවත් කියා සිටියි.

ජනතාව මත බදු බර

තව දුරටත් කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කළේ ‘මහජනයා මත තව තවත් බදු බර පටවමින් මන්ත්‍රී වැටුප් වැඩිකර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ බවයි.

ආණ්ඩුව මුදල් නැතැයි කියමින් සිටින අතරවාරයේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ පහසුකම් වැඩි කිරීමට කටයුතු කිරීම පිළිගත නොහැකි බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර