පාරට බැස්සේ 'අපේ හයිය පෙන්වන්න'

Image copyright Getty

''අලුත් ලංකාවකට ඉඩ දෙමු'' යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව විසින් සංවිධානය කරන ලද රැළියක් හා පාගමනක් අද කොළඹ දී පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණය විසින් එය සංවිධානය කොට තිබිණ.

රැකියා ලබා දීමේ වැඩපිළිවෙළට බාධා නොකරනු, තරුණ අපිට ඇයි බාධා, ආර්ථිකය ගොඩනගන්න නව රජයට ඉඩ දෙනු යන වැකි සඳහන් පුවරු රැගෙන එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් ලිප්ටන් වටරවුම දෙසට පාගමනින් පැමිණියේ නෙළුම් පොකුණ මංසන්ධියේ සිටයි.

එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ රැළිය පැවති ස්ථානයට පැමිණි නමුත් වේදිකාවට ගොඩ නොවී ජනතාව අතර සිට රැළියට සවන් දෙනු දක්නට ලැබුණි.

රැළිය ඇමතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ ආණ්ඩුවේ සංවර්ධන හා රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

'කුමන්ත්‍රණ'

Image copyright PM
Image copyright PM

''මහා භාණ්ඩාගාරය කොල්ලකාපු, රාජ්‍ය සම්පත් කොල්ලකාපු රාජපක්ෂ කල්ලිය මේ රටේ සෑම පුරවැසියෙක්ම ලක්ෂ හතර හමාරක ණය කාරයෙක් කරපු කල්ලිය අද ජාතික කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා,''

ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දක්වන විරෝධතාව විවේචනය කරමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙහිදී අදහස් දැක්වූ අතර ආණ්ඩුවේ ශක්තිය පෙන්වීම සඳහා මෙම රැළිය සංවිධානය කල බවයි ඔහු පැවසුවේ.

''කුණු ගඳ ගහන ආණ්ඩුවක් එලවලා, පිරිසිදු ආණ්ඩුවක් හදපු අපේ කකුලෙන් අදින්න හදනවා, අපි පාරට බැස්සේ අපේ හයිය පෙන්වන්න,''

රටම අඳුරේ තැබූ විදුලි අර්බුදය පිටුපස සිටින්නේද රාජපක්ෂ සෙවණැලි බවයි අමාත්‍යවරයා චෝදනා කළේ

''ලයිට් ගියාම ඒකත් අපේ පිටින් දාන්න හදනවා, ඔහොම ට්‍රාන්ස්ෆෝමර් පිපිරෙන්නේ නැහැ නිකන්ම, මේවා ගැන අපි ඉදිරියේ හෙළි කරනවා,''

කුමන බාධක පැමිණියත් රට වෙනුවෙන් රටට අවශ්‍යදේ තම ආණ්ඩුව ඉටු කරන බවයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර