සේයා ඝාතකයාට මරණ දඬුවම

Image copyright Prasad Purnimal Jayamanne
Image caption සිය දියණියගේ ඝාතනය සම්බන්ධ සියලු අධිකරණ කටයුතු අවසන් බැවින් අදින් පසු ඇයගේ ඡායාරූප කිසිවක් මධ්‍යයේ නොකරන ලෙස සේයාගේ මව මාධ්‍ය ඇතුළු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියාය.

'දරුවන් මල් වැනියි, ඒ දරුවන් මල් මෙන් රැක ගැනීම දෙමාපියන්ගේ වගකීමක්. රාත්‍රියේ රූපවාහිනිය නරඹලා නින්දට ගිය විට මේ වගේ ඉලක්ක සපුරා ගන්න මාන බලන්නන්ට ඕනෑ තරම් අවස්ථාව තිබෙනවා. තමන්ගේ දරුවන් උපරිමයෙන් ආරක්ෂා කර ගැනීමට මෙය හොඳ පාඩමක්' මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකි රාජරත්න සේයා සදෙව්මි දැරියගේ ඝාතනයේ තීන්දුව ලබා දෙමින් ප්‍රකාශ කළාය.

සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීම ඇතුළු චෝදනා හතරකට වරදකරු වූ ගම්පහ බෙම්මුල්ල බදුවතුගොඩ පදිංචිකරුවකු වූ ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් නැමැත්තාට මරණ දඩුවම ලබා දෙන බවයි අධිකරණය ප්‍රකාශ කළේ.

සැකකරුට එරෙහිව එල්ල වී තිබූ සෙසු චෝදනා තුනක් සම්බන්ධයෙන් වසර විස්ස බැගින් සිර දඬුවම් නියම කළ අධිකරණය වරදකරුට රුපියල් හතළිස් පන්දහසක දඩයක්ද නියම කෙළේය.

සමන් ජයලත් නැමැත්තාට චෝදනා හතරක් ගොනු කර තිබු අතර ඉන් පළමු වැන්න අපහරණයයි.

සෙසු චෝදනා ලෙස ඉදිරිපත් කොට තිබුණේ අනුපිළිවලින් දූෂණයට ලක් කිරීම, බරපතළ ලිංගික අපයෝජනය සහ ඝාතනය කිරීමයි.

පළමු සහ දෙවන චෝදනාවලට වරද බාර ගනිමින් විත්තිකරු විසින් පාපොච්චාරණයක් සිදු කොට තිබිණි.

සෙසු චෝදනා විද්‍යාත්මක සාක්ෂි හා අනෙකුත් සාක්ෂි වලින් ඔප්පු වන බව තීන්දුව ලබා දෙමින් අධිකරණය ප්‍රකාශ කළේය.

සේයාගේ මතකය සේයාවක් නොවන්නට වරදකරුට නිසි දඬුවමක් ලබා දිය යුතු බව එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

විදේශ රටවල නඩු තීන්දු මෙන්ම ශ්‍රී ලංකාව තුළ ලබා දුන් නඩු තීන්දුද උදාහරණ ලෙස ගෙන හැර දැක්වූ අයේෂා ජිනසේන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රකාශ කළේ මල් කකුලක් සේ පිබිදෙන්නට සිටි සේයා පුබුදින්නට පෙර මිලින කිරීම පිළිබඳ අධිකරණයේ අවධානය යොමු විය යුතු බවයි.

සිය දියණියගේ ඝාතනය සම්බන්ධ සියලු අධිකරණ කටයුතු අවසන් බැවින් අදින් පසු ඇයගේ ඡායාරූප කිසිවක් මධ්‍යයේ නොකරන ලෙස සේයාගේ මව ඉල්ලා සිටියාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර