ශ්‍රී ලංකා කණ්ඩායම ජව ගැන්වීමට සංගක්කාර

Image copyright Getty

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම වත්මන් ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික කුමාර් සංගක්කාර ලබන 19 වෙනි දින ‘විස්සයි විස්ස’ ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා පවසයි.

තේරීම් කමිටුවේ නියෝජිතයා ලෙස කණ්ඩායමට එක් වන කුමාර් සංගක්කාර, උපදේශකයෙකු මට්ටමින් කණ්ඩායමට ශක්තියක් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා බීබීසියට ප්‍රකාශ කළේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියේ තම ප්‍රථම තරඟයට අද (17) සවස සහභාගී වෙන අතර එම තරඟය පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්තාන් කණ්ඩායම සමඟයි.

Image copyright Getty

ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරේදා එක් වූ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ කණ්ඩායමට එක්ව පුහුණු වීම් වල යෙදුණ අතර පන්දු වාර කීපයක් ද යැවීය.

අද තරඟය

කෙසේ වෙතත් අද (17) තරඟයට ලසිත් මාලිංග සහභාගී කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ මොහොත වන විටත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

ලසිත් මාලිංග අද තරඟය සඳහා ක්‍රීඩා නොකළත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් සමග ලබන ඉරිදා පැවැත්වෙන තරඟයට ඔහු සහභාගි කරවීමේ වැඩි ඉඩකඩක් ඇති බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරංචි මාර්ග පවසන්නේ.