විදුලිය බිඳවැටීම 'කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවේ'

Image copyright Getty
Image caption 'ආරක්ෂක විධිවිධාන නිසියාකාරව ක්‍රියාත්මක වුනාද? ඒ භාරව සිටින නිලධාරීන් ඒ තත්වෙට පවත්වාගෙන ගියාද කියන කාරණය පිළිබඳව ප්‍රශ්නයක් අපිට තියෙනවා'

පසුගිය ඉරිදා ශ්‍රී ලංකාව පුරාම විදුලිබලය බිඳ වැටුනේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතුවෙන් නොවන බව පවසන වෘත්තීය සමිති නායකයෝ, එය හුදෙක් තාක්ෂණික දෝෂයක ප්‍රතිඵලයක් බව පවසති.

බිඳවැටුණු විදුලිය යළි ලබාදීමට පැය ගණනාවක් ගතවීමට හේතුව විදුලිබල මණ්ඩලයේ පැරණි පාලනාධිකාරිය විසින් විදුලිබල සේවකයන් අතර ඇති කළ ගැටුමක් බවයි, ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති විදුලි අධිකාරී ලලිත් ජනකාන්ත බීබීසී සංදේශයට කියා සිටියේ.

එවැනි තත්වයක් මතු වූ අවස්තාවක ගතයුතු පියවර පිළිබඳව පූර්ව සූදානමක් නොතිබුනේ දැයි බීබීසී සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් විදුලි අධිකාරීවරයා කියා සිටියේ, අනිවාර්යයෙන්ම එවැනි ආරක්ෂක විධිවිධාන පවතින බවයි.

"එවැනි ආරක්ෂක විධිවිධාන නිසියාකාරව ක්‍රියාත්මක වුනාද? ඒ භාරව සිටින නිලධාරීන් ඒ තත්වෙට පවත්වාගෙන ගියාද කියන කාරණය පිළිබඳව ප්‍රශ්නයක් අපිට තියෙනවා," ඔහු පැවසීය.

Image copyright Getty
Image caption 'එතෙන්දි වුනේ කොත්මලේ සිට එන කිලෝ වොට් 234,000 ලයින් එකේ ට්‍රාන්ස්ෆෝමර් එකක ඇතිවෙච්ච දෝෂයක්'

කණ්ඩායම් ක්‍රියාවලියක් (team work) වන විදුලිය සැපයීමේදී ඉංජිනේරුවන් පමණක් සුවිශේෂී කොටසක් ලෙසින් විග්‍රහ කොට ඔවුන්ට පමණක් වැටුප් වැඩි කිරීමට පැරණි පාලනාධිකාරිය ක්‍රියාකිරීම හමුවේ අනෙක් සේවකයන් මානසික බිඳවැටීමකට මුහුණ දුන් බවයි, සමිති සභාපතිවරයා පවසන්නේ.

"ඒ ඒ අයට නිශ්චිත වගකීම් තියෙනවා. ඒ ඒ අයට නිශ්චිත රාජකාරි තියෙනවා. හැමෝම ඒ ඒ ක්ෂේත්‍රය තුල ඔවුන් සුවිශේෂීයි."

එහෙත් පැරණි පාලනාධිකාරියේ ක්‍රියා පිළිවෙත හමුවේ මානසිකව බිඳ වැටී සිටි ඉංජිනේරුවන් නොවන අනෙක් ශිල්පීන් විදුලිය බිඳවැටීම යථා තත්වයට පත්කිරීම පිණිස පූර්ණ කැපකිරීමක් කළේද යන්න සැකසහිත බවත් කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.

එසේ නොවී සියලු සේවකයන් සාමූහික සම්බන්ධීකරණයකින් ක්‍රියාකළේ නම් මීට වඩා ඉක්මනින් යළි විදුලිය ලබාදීමට හැකියාව තිබුණු බවයි වෘත්තීය සමිති නායකයා අවධාරණය කරන්නේ.

"ලංකා විදුලිබල මණ්ඩලයේ සැපයුම් ජාලය දම්වැලක් වගේ එකට එකක් සම්බන්ධතාවයක් තියෙනවා. එතෙන්දි වුනේ කොත්මලේ සිට එන කිලෝ වොට් 234,000 ලයින් එකේ ට්‍රාන්ස්ෆෝමර් එකක ඇතිවෙච්ච දෝෂයක්," ඔහු පැවසීය.

එම දෝෂය නොරොච්චෝලේ විදුලි බලාගාරයට බලපෑම හේතුවෙන් විදුලි සැපයුමේ විශාල කොටසක් ඉවත්වීමත් සමඟම ශ්‍රී ලංකාව පුරාම පිහිටි බලස්ථාන අක්‍රිය වූ බවත් ඔහු පෙන්වා දෙයි.

විදුලිය බිඳවැටීමෙන් අනතුරුව විදුලි සැපයුම මේ වනතුරුම යථා තත්වයට පත් වී නොමැති බවත් විදුලි අධිකාරී ලලිත් ජනකාන්ත වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර