ගුරුවරු 'අසනීප නිවාඩු': පුත්තලමේ පාසල් වැසේ

පළාත් සභා මන්තී‍්‍රවරයකු අධ්‍යාපන අධ්‍යක්ෂවරයකුට බැන වැදී තර්ජනය කළ බව පවසමින් පුත්තලම කලාපයේ ගුරුවරු සහ විදුහල්පතිවරු ඇතුළු කලාප අධ්‍යාපන කාර්ය මණ්ඩලය අසනීප නිවාඩු වාර්තා කරමින් විරෝධතාවයක් දියත් කළහ.

පසුගිය බදාදා පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණි පුත්තලම් දිස්ති‍්‍රක් පළාත් සභා මන්තී‍්‍ර තාහීර් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට බැන වැදී තර්ජනය කොට පහරදීමට තැත් කර තිබේ.

ඒ අවස්ථාවේ එහි සිටි කලාපයේ අතිරේක අධ්‍යක්ෂවරු සහ කාර්ය මණ්ඩලය එම පහරදීම වළක්වාගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳව ඔවුන් එදිනම පුත්තලම පොලීසියට පැමිණිලි කර තිබේ.

මෙම 'නීච, පිළිකුල්සහගත කි‍්‍රයාවට' එරෙහිව පුත්තලම කලාප කාර්යාලයට අයත් පාසල් 204 ක ගුරුවරු 3850 ක් හා විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කර විරෝධය පළ කර සිටීන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් බීබීසී සංදේශයට කියා සිටියේ.

පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලය ද මෙසේ අසනීප නිවාඩු වාර්තා කොට සිය විරෝධය පළ කොට තිබේ.

පළාත් සභා මන්තී‍්‍රවරයාගේ 'පිළිකුල් සහගත කි‍්‍රයාවට' එරෙහිව ලංකා ගුරු සංගමයේ සහ ලංකා විදුහල්පති සංගමයේ මෙහෙයවීමෙන් බ්‍රහස්පතින්දා පුත්තලම නගරයේ දැවැන්ත විරෝධතාවයක් පැවැත්විණි.

අදාළ මන්තී‍්‍රවරයා සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස උද්ඝෝෂකයන් එහිදී පොලිසියට බල කළ අතර, ඉන් අනතුරුව අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කෙරුණු මන්ත්‍රීවරයා ඇප මත මුදා හැරිණ.

පුත්තලම දිස්ති‍්‍රක්කය නියෝජනය කරන පළාත් සභා මන්තී‍්‍රවරයකු ගුරුවරියකට දණ ගැසීමට අණකිරීම මීට ඉහතදී රට පුරා මහත් ආන්දෝලනයකට ලක්විය.

මෙම අසනීප නිවාඩු වාර්තා කිරීම හරහා පළාත් සභා බලධාරීන්ට බලකර සිටින්නේ මැර මන්තී‍්‍රවරයා සම්බන්ධයෙන් වහාම විනයානුකූල කි‍්‍රයාමාර්ගයක් ගන්නා ලෙසයි.

එවැනි කි‍්‍රයාමාර්ගයක් නොගන්නේ නම් තවදුරටත් වෘත්තීය කි‍්‍රයාමාර්ගවල නිරත වන බව ලංකා ගුරු සංගමය අවධාරණය කරයි.