ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකාවට තොරතුරු දැන ගැනීමේ ප්‍රබල පනතක්'

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත ලෝකයේ 'හත් වන හොදම තොරතුරු දැන ගැනීමේ පනත' ලෙස අන්තර්ජාතික සංවිධාන විසින් නම් කොට ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය රංග කලන්සූරිය පවසයි.

'කැනඩාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ව්‍යාපාරය, එංගලන්තයේ තිබෙන ආටිකල් 19 වගේ සංවිධානවලින් මෙය ඉතාම ප්‍රබල පනතක් ලෙස නම් කොට තිබෙනවා,' ආචාර්ය රංග කලන්සූරිය කියා සිටියේ බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක්වෙමිනුයි.

දකුණු ආසියානු රටවල් අතුරින් තොරතුරු දැන ගැනීමේ පනතක් ක්‍රියාත්මක නොවන එකම රට ශ්‍රී ලංකාව බවත් ඔහු පෙන්වා දුන්නේය.

තොරතුරු දැන ගැනීමේ පනතක් ක්‍රියාත්මක කරන ලෙස අසල්වැසි ඉන්දියාවේ ප්‍රබල ජන මතයක් ගොඩ නැගී තිබුණද ශ්‍රී ලංකාව තුළ ඒ සඳහා ඉඩකඩක් නිර්මාණය වූයේ ජන මතයෙන් නොව ආණ්ඩුවේ සහ රාජ්‍ය නොවන සංවිධාන කීපයක උවමනාව මත බවත් ආචාර්ය රංග කලන්සූරිය සඳහන් කළේය.

ඒ හේතුවෙන් තොරතුරු දැන ගැනීමේ පනත හරහා තමන්ට ලැබෙන මූලික අයිතිවාසිකම් පිළිබඳ ජනතාවට නිසි අවබෝධයක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

ප්‍රශ්න කිරීමේ අයිතිය

''ජනතාවට තොරතුරු දැන ගැනීම සහ ජනතාවට බලයේ ඉන්න ආණ්ඩුව ප්‍රශ්න කිරීමේ අයිතිය ඉහත කී පනත හරහා ලැබෙනවා.''

''තමන්ගේ දරුවා ඉස්කෝලෙට ගත්තේ නැත්තේ ඇයි?''

''මම ප්‍රතිකාර ලබා ගන්නා රෝහලෙන් මට නොමිලේ ලැබිය යුතු ඖෂධ නොලැබෙන්නේ ඇයි?''

''මගේ ගමේ පාර පිළිසකර කරන්න කොපමණ මුදලක් වැය වුනාද? ඒ මුදල සාධාරණද? කොන්ත්‍රාත්කරුවා කවුද?''

''වී ටික විකුණ ගන්න බැරි ඇයි? ඇයි මගේ වී ටික මිළදී ගන්න බැරි?''

තොරතුරු දැන ගැනීමේ පනත නිසා ඉහත කී ආකාරයේ මූලික ගැටළු සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රශ්න කිරීමට ජනතාවට නෛතික වශයෙන් අයිතිය ලැබෙන බවයි ආචාර්ය රංග කලන්සූරිය පෙන්වා දෙන්නේ.

'සාධනීය පියවරක්'

''වර්තමානය වන විට ලෝකයේ රටවල් සියයට හැත්තෑවක පමණ තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක වනවා. නමුත් එවැනි රටවල් සියයට අනූවක් පමණ තමන්ගේ පළමු ධුර කාලයේදී මේ පනත ගේන්නේ නැහැ. හුඟක් ආණ්ඩු තමන්ගේ දෙවන ධුර කාලයේ අවසාන භාගයේදී තමයි මේ පනත ගේන්නේ. මොකද මේ පනත පවතින රජයකට සුදුසු දෙයක් නොවෙයි.''

කෙසේ නමුත් සිය පළමු ධුර කාලය තුළ තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කරන බවට වත්මන් ආණ්ඩුව ප්‍රබල තීරණයක් ගෙන ඇති බවයි ආචාර්ය රංග කලන්සූරිය පවසන්නේ.

''ඒ ප්‍රබලකම නිසාම ආණ්ඩුවේ ඇතැම් පාර්ශව ඒ ගැන සැකසංකා පළ කොට තිබුනා, මොකද මේ වගේ ප්‍රබල පනතක් ගෙන ආවම අපිට වැඩ කර ගන්න පුළුවන් වෙයිද කියලා''

කෙටුම්පත් කරනු ලැබූ තොරතුරු දැන ගැනීමේ පනතේ ගුණාත්මකභාවය හින නොකට සම්මත කොට ඒ ආකාරයටම ක්‍රියාත්මක කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහතික වී ඇති බවත් ආචාර්ය රංග කලන්සූරිය වැඩිදුරටත් කියා සිටියේය.

ගැසට් කරනු ලැබූ තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මේ අතර ආණ්ඩුවේ පවසන්නේ.