'කාන්තා හිංසනයට එරෙහිවීම පුරුෂයින්ගේ යුතුකමක්' - අනෝජා

මාර්තු මස 8 වැනිදා ලෝක කාන්තා දිනයයි.

ජාත්‍යන්තර කාන්තා දිනයක් පිලිබඳ අදහස මුලින්ම මතු වී ආවේ 1908 වසරේ මාර්තු 08 වන දින අමෙරිකාවේ ඇඟලුම් කම්හල් සේවිකාවන් පිරිසක් පැය 16 ක් වූ තම සේවා කාලය පැය 10කට සීමා කරන ලෙස ඉල්ලා කළ උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් ලෙසිනි.

කෙසේවුවද කාන්තා දිනය සැමරීම නිල වශයෙන් තීරණය කෙරුණේ, 1910 වසරේදී කෝපන්හේගන් හි දී පැවැති සමුළුවකදීය.

ශ්‍රී ලංකාව සහ කාන්තාව

ජාත්‍යන්තර කාන්තා දිනයක දී ශ්‍රී ලංකාව සහ කාන්තාව අතර සබඳතාවය පිලිබඳ ව අවධානය යොමු කිරීමේ දී ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක යන නම ලෝකය තුළ ශ්‍රී ලංකික කාන්තාව ගේ නියෝජනය සනිටුහන් කරන්නකි.

Image copyright getty
Image caption සිරිමාවෝ බණ්ඩාරනායක ලොව පළමු අගමැතිනියයි

ඉන් අනතුරුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය විසින් දෙවරක්ම රට පාලනය කරනු ලැබීම තුළින්ද ද ලාංකීය සමාජය තුළ කාන්තාවට ඇති පිළිගැනීම පිළිඹිඹු කෙරේ.

රටේ ජාතික ආර්ථිකය රඳා පවතින්නේ ශ්‍රී ලාංකික මව්වරුන්ගේ ශක්තිය මත බවයි ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පැවති ජාතික උළෙල අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ.

කෙසේවුවද, මහජන නියෝජිත ආයතනවල කාන්තා නියෝජනය, කාන්තා හිංසනය මැඩලීම, සමාජය තුළ සම අයිතීන් ලබා දීම මෙන්ම අධ්‍යාපන හා රැකියා අවස්ථා සම්බන්ධයෙන් සලකා බැලීමේ දී ශ්‍රී ලංකාවේ කාන්තාවන් ප්‍රගතියක් අත් කොට ගෙන ඇත්දැයි සලකා බැලීම කාලෝචිතය.

'හෑශ් ටැග්' පරපුර

පසුගිය මාර්තු 8 වැනිදා ට යෙදී තිබුණු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව අද දවසේ කාන්තාවට හිමි සමාජ පිළිගැනීම විමසනු වස් ‘හෑශ් ටැග්’ පරපුර විසින් ශ්‍රී ලංකාවේ විවිධ සමාජ ස්ථරයන් නියෝජනය කරන කාන්තාවන් අලලා විශේෂාංග මාලාවක් සමාජ ජාල ඔස්සේ පළ කොට තිබුණි.

උපතින් දෑස් නොපෙනෙන ගැහැණු දරුවකු ලෙස ඉපදී ජීවිතය ජයගත් ශ්‍රී ලංකික කාන්තාවක් පිළිබඳව ‘හෑශ් ටැග්’ පරපුර විසින් හඳුන්වා දී තිබුණි.

ඇය නමින් මැණික් ගුණරත්න ය. ඇය ශ්‍රී ලංකා හාම්පුතුන්ගේ සංගමයේ උපදේශකවරියක් ලෙසයි කටයුතු කරන්නේ.

ශ්‍රී ලංකික සමාජය තුළ අබාධිත කාන්තාවට සලකන්නේ කිසිදු ප්‍රයෝජනයක් නැති අයෙකු ලෙසට බව පවසන ඇය අදහස් කරන්නේ කාන්තාව යනු අනුකම්පාවෙන් බැලිය යුතු අයෙක් නොව ඇගේ හැකියාවන් වටහාගෙන ඇයට නිසි තැන ලබා දිය යුතු බවයි.

Image copyright Getty
Image caption ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට කාන්තාවන්ගෙන් ලැබෙන දායකත්වය අති විශාලය

සංක්‍රාන්ති ලිංගිකයෝ

භූමි හරේන්ද්‍රන්, සංක්‍රාන්තික ලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියධරනියක්. ශ්‍රී ලාංකික සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සමාජය හමුවේ මුහුණ දෙන නොසලකා හැරීම් පිළිබඳවයි ඇය අදහස් දැක්වුයේ.

ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය කාන්තාව වෙනස්කම් වලට එක් වරක් භාජනය වේ නම් සංක්‍රාන්ති ලිංගිකයෙකු වූ තමන් දෙවරක් එවැනි වෙනස්කම්වලට ලක් වන බවයි ඇය කියා සිටින්නේ.

සමාජය විසින් තනා ගත් රාමු තුළට පුද්ගලයන් ඇතුළු නොකොට විවෘතව කාන්තාවන් දෙස බලා ඔවුන්ගෙන් සමාජයේ දියුණුවට ගත හැකි ප්‍රයෝජනය ගත යුතු බවත් භූමි හරේන්ද්‍රන් පවසයි.

යමෙක් කාන්තාවක් ලෙස තමන් විසින් ම හඳුන්වා ගනිද්දී එය සනාථ කිරීම පිණිස සමාජය ඉදිරියේ නිරුවත් වන්නට සිදුවේ නම් එය අනුමත කළ නොහැකි බවයි ඇය ප්‍රකාශ කරන්නේ.

ගෘහ සේවයෙන් ලැබෙන විදේශ විනිමය, ඇඟලුම් ක්ෂේත්‍රය සහ තේ කර්මාන්තය වැනි අංශ තුළ රඳා පවතින්නේ ශ්‍රී ලංකික මව්වරුන්ගේ සහ සොහොයුරියන්ගේ ශක්තිය මතයි.

සීමා බාධක

ලොව ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවෙන් බිහි වුවද අදටත් ඇතැම් වෘත්තීන් සඳහා කාන්තාවන්ට අනියම් සීමා බාධක පැනවෙන ප්‍රවණතාවක් සමාජය තුළින් දැක ගත හැකි වේ.

එවැනි සීමා මායිම් ඉදිරියේ ජීවිතය ජය ගන්නට වෙර දරණ ප්‍රියංකා තුෂාරි මවක් මෙන්ම ත්‍රිරෝද රථ රියදුරුවරියක්. කාන්තාවක් වීම නිසා තමාට එදිනෙදා මුහුණ දීමට සිදුවන ගැහැට පිළිබඳවයි ඇය විස්තර කළේ.

තමා කාන්තාවක් වීම නිසා පුරුෂ පක්ෂයේ ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් විරෝධතා එල්ලවීම පිළිබඳව පැවසූ ඇය ආත්ම විශ්වාසය හා ධෛර්යය ඇති නම් උගත්කමක් නැති වුවද සමාජයට මුහුණ දී ඉදිරියට යා හැකි බවයි වැඩිදුරටත් පවසන්නේ.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳව තමන් වෙනස් ආකාරයකින් දකින බව පවසන ප්‍රවීන රංගන ශිල්පිණී අනෝජා වීරසිංහ ගේ අදහස වන්නේ දේශපාලන ක්ෂේත්‍රය වැනි ඇතැම් අංශ කාන්තාවන්ට අඩු තැනක් තිබීම සත්‍ය වුවද උත්සාහයෙන් තමන්ට හිමි තැනට යාම සඳහා මානසිකත්වය වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය බවයි.

ඇය ශ්‍රී ලංකාවේ පුරුෂයන්ගෙන් ඉල්ලා සිටියේ කාන්තාවන්ට වෙනස් ලෙස සලකනු ලැබීමට සහ කාන්තා හිංසනයට එරෙහිව පෙනී සිටින ලෙසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර