එල්ටීටීඊය ගැන 'ස්වයං විවේචනයකට තමිලිනීගෙන් ඇරයුමක්'

Image copyright srilankamirror.com
Image caption පසුගිය වසරේ මහරගම පිළිකා රෝහලේදී අවසන් හුස්ම හෙලූ ඇය මිය යන විට හතළිස් තුන් වන වියේ පසු විය

එල්ටීටීඊ සංවිධානයේ කාන්තා අංශයේ දේශපාලන නායිකාව බවට පත් සුබ්‍රමනියම් සිවකාමී හෙවත් තමිලිනී සිය ජීවන දෘෂ්ටිය වචනවලට ගොනු කළ අතර එය ග්‍රන්ථයක් වශයෙන් පසුගියදා එළිදැක්විණ.

'In the shadow of a sharp sword' නමින් දෙමළ බසින් රචිත ග්‍රන්ථය එල්ටීටීඊ සංවිධානය හා දෙමළ සමාජය පිළිබඳව විවේචනාත්මක දෘෂ්ටියක් ඉදිරිපත් කරන බව යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් පැවසුවේය.

'එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ දෙමළ සමාජය යමි කිසි විවේචනාත්මක දෘෂ්ටියකින් බැලීමේ අවශ්‍යතාවය සහ මිනිස්සුන්ගේ විමුක්තිය වෙනුවෙන් සටන් බිමට ගිය තමන්ට ඒ ලබපු අත්දැකීම් මත විඳින්නට වූ පීඩනය තමයි පොත තුළින් පැහැදිලි වෙන්නේ' ග්‍රන්ථය සිංහල භාෂාවට පරිවර්තනය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් කියා සිටියේ බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමිනුයි.

යුද බිමේ ලද අත්දැකීම් ලොවට පවසනවා වෙනුවට තමා සහාය ලබා දුන් සංවිධානය දෙස ස්වයං විවේචනයක යෙදීමට ඇය මෙම ග්‍රන්ථය හරහා ආරාධනා කරන බවයි කථිකාචාර්යවරයා සඳහන් කළේ.

එල්ටීටීඊ සංවිධානය වර්ධනය වී යම් කිසි කාලයක් ගත වීමේදී ආයුධ මත පමණක්ම රැඳෙන තත්වයකට පත්වීම ඇය සිය ග්‍රන්ථය හරහා විවේචනයට ලක් කරන බවත් ඔහු පැවසීය.

''විශේෂයෙන්ම සාම සාකච්ඡා සඳහා වූ ඉඩ ප්‍රස්ථාවන් මඟ හැර යෑමෙන් ඇති වූ තත්වයන් හා ජනතා සාධාරණත්වය වෙනුවෙන් පැන නැගුණු සංවිධානයක් ජනතා අපේක්ෂාවලට එරෙහිව යෑම පිළිබඳවත් ප්‍රශ්න කිරීමට ලක් කෙරෙනවා.''

යුද්ධයේ අවසාන බාගයේ එල්ටීටීඊ පාලන ප්‍රදේශවල සිටි පිරිස්වලට එම ප්‍රදේශ අතහැර යෑමට නොදීම සහ බලහත්කාරයෙන් සන්නද්ධ අංශවලට බඳවා ගැනීම යන කරුණු තමිලිනී විසින් ප්‍රශ්න කරනු ලබන බවත් කථිකාචාර්ය සාමිනාදන් විමල් සඳහන් කළේය.

යුද බිම, සාහිත්‍ය සහ දේශපාලනය

සිය සාහිත්‍ය සහ කලා නිර්මාණ සඳහා තම සටන්කාමිත්වය යොදා නොගත් නිර්මාණකාරියක ලෙස තමිලිනී හැඳින්විය හැකි බවයි ඔහු පවසන්නේ.

'සාහිත්‍ය සහ දේශපාලනය යන දෙකේදීම ඉස්මතු වන්නේ විමුක්තිය කියන කාරණය' යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් වැඩිදුරටත් කියා සිටියේය.

'In the shadow of a sharp sword' ග්‍රන්ථයේ සිංහල මුද්‍රිත පරිවර්තනය ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි.

යුද්ධය පැවති අවසාන වකවානුවේ 2009 වසරේ මැයි මස 27 වනදා වව්නියාව මැණික්ෆාම් අනාථ කඳවුරේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් තමලිනී අත්අඩංගුවට ගනු ලැබිණ.

පුනරුත්තාපන කඳවුරක රඳවා සිටි ඇය 2013 වසරේ ජුනි මස 26 වනදා නිදහස් විය.

මිය යන තෙක් ඇය කිලිනොච්චියේ පරන්තන් ගම්මානයේ ගත කළේ නිහඬ දිවියක්.

පසුගිය වසරේ මහරගම පිළිකා රෝහලේදී අවසන් හුස්ම හෙලූ ඇය මිය යන විට හතළිස් තුන් වන වියේ පසු විය.

යුද්ධයට තරම් ප්‍රබල වෙනසක් දේශපාලනයටද කළ හැකි බව තමිලිනී වරෙක මාධ්‍යයට පැවසුවාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර